ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී තමන් 50%ක ණය කපාහැරීමකට එකඟ නොවන අතර කපා හැරිය හැකි උපරිම ණය ප්‍රමාණය 20%ක් පමණක් බවට ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන් යෝජනා කර ඇතැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
මෙරට ආර්ථිකය යම් අයුරකින් වර්ධනය වන්නේ නම්, එලෙස වර්ධනය වන ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි නම්, එම වාසියද පෞද්ගලික ණය හිමියන්ට ලැබිය යුතු බවටද ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන් යෝජනා කර තිබේ.
මෙය ඉතා අසාධාරණ යෝජනාවක් බවද, එයට කිසිසේත්ම ඉඩ නොතැබිය හැකි බවද සඳහන් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය කලින් යෝජනා කර නොතිබූ අතර පසුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූරණ බර වැඩ කරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල මත පැටවූ බවත්, ඒ අනුව මෙරට ආර්ථිකයේ යම් වර්ධනයක් සිදුවන්නේ නම් එහි ප්‍රතිලාභ ලැබිය යුත්තේ පෞද්ගලික ණය හිමියන්ට නොව සේවක අර්ථසාධක මුදලේ හිමිකරැවන්ට බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
වාර්ෂික ණය පොලිය ගණනය කිරීමේදී ඇතැම් ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන් දැනටමත් 100% ඉක්මවා ප්‍රතිලාභ ලබා ඇති අතර, ඔවුන් එවක අඩු මිලට ලබාගත් බැඳුම්කරවල මිල මේ වන විට දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. ඉන්දියාව සහ ජපානය යන ද්විපාර්ශ්වික ණය හිමියන් පැරිස් සමාජය හරහා ශ්‍රී ලංකා රජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති නමුදු මෙතෙක් කිසිදු එකඟතාවකට පැමිණි බවක් දැකිය නොහැකිය. චීනය සමඟ ද ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය යම් වැඩපිළිවෙළක් දියත් කර ඇති නමුදු ඒ සම්බන්ධයෙන් එළැඹ ඇති තීරණ මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.