චමිද නිසල් ද සිල්වා I
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නගා සිටුවීමේ වගකීම් දරන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට මාසිකව රුපියල් කෝටි හතරක් පමණ රුපියල් (ලක්ෂ 400ක) වැටුප් සහ පහසුකම් සපයා තිබියදීත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් පහත් අඩියකට කඩා වැටුණේ කෙලෙසදැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ විචාරකයෝ ප්‍රශ්න කරති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර් වුඩ් හට මාසිකව රුපියල් ලක්ෂ 98ක වැටුපක් ද, ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශ ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන හට මාසිකව රුපියල් ලක්ෂ 65ක් ද ගෙවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පසුගියදා පැවසීය. ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් හට ද රුපියල් ලක්ෂ 45ක් පමණ වැටුපක් ගෙවන බවද මෙහිදී හෙළිදරව් විය. ඒ අනුව ශ්‍රී ලංකාව පුහුණු කාර්ය මණ්ඩලයේ ප්‍රධානීන් නව දෙනෙකු සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් 119,200ක් හෙවත් රුපියල් කෝටි 4ක පමණ වැටුප් ගෙවීමක් සිදුවන බව පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා අනාවරණය කළේය.
මේ අතර ක්‍රීඩා මානසිකත්වය දියුණු කිරීම පිළිබඳ පසුගිය සමයේ ක්‍රියාත්මක වූ වැඩසටහන මේ වනවිට අතරමග නැවතී ඇතැයි ඉන්දීය තරග පරාජයෙන් පසු පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් පවසා තිබුණි. මීට අමතරව තරග පරාජයේදී මහේල ජයවර්ධනගේ නිහඬ පිළිවෙතද මේ වනවිට ප්‍රශ්න කරමින් පවතියි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට සාපේක්ෂව ඉතා අඩු වැටුප් ලබන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෑතකදී ජයග්‍රහණ රුසක් අත්පත් කරගත් බවද ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙයි.