2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

ලංවීම විකිණීමෙන් බිල තවත් වැඩි වේවිලු

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:01 106

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී නිසි නියාමනයකට යටත් නොකළහොත් විදුලි පාරිභෝගිකයාට දැන් ගෙවන විදුලි බිලට වඩා වැඩි විදුලි බිලක් ඉදිරියේදී ගෙවීමට සිදුවනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික හා ඉංජිනේරු සංගමයේ සභාපති කේ.වී.ජී. නිශාන්ත මහතා දේශයට ප්‍රකාශ කළේය.

පසුගිය 31 වැනිදා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර වෘත්තීය සමිතිවලට එම කෙටුම්පත මෙතෙක් ලැබී නොමැති බවද විදුලිබල මණ්ඩලයට ආයෝජන ගෙන ඒම විනා ප්‍රතිව්‍යුහගතකරණය තුළින් එය කොටස්වලට කඩා පෞද්ගලික අංශයට ලබාදීමෙන් පාරිභෝගික ජනතාවට වන සෙතක් නැතැයිද ඔහු සඳහන් කළේය.

1969 අංක 20 දරන විදුලිබල පනත අහෝසි කොට නව විදුලිබල පනතක් ගෙන ඒමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින අතර විදුලිබල මණ්ඩලය සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම එහි අරමුණ වී තිබේ. 

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජල විදුලි බලාගාර කිසිවක් පෞද්ගලික අංශයට ලබා නොදෙන අතර සම්ප්‍රේෂණ රුහැන් පද්ධතියෙන් වැඩි කොටසක් රජය යටතේ පවත්වාගෙන යාමටත් අනෙකුත් බලාගාර ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවද පැවසේ. විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 500ක බැංකු අයිරාවක් පවතී. රටේ සමස්ත විදුලි පාරිභෝගික සංඛ්‍යාව මිලියන 7කි. ඒ අනුව එක් විදුලි පාරිභෝගිකයකු මාසය අගදී ගෙවන විදුලි බිලට අමතරව තවත් රුපියල් 71,500ක් විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවීම සඳහා ගෙවිය යුතු තත්ත්වයට විදුලිබල මණ්ඩලය පත්ව තිබේ. 

මේ අතර ලංකා විදුලි සේවක සංගමයේ  ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සඳහන් කළේ  විදුලිබල මණ්ඩලය කොටස් 14කට කඩා පෞද්ගලික අංශයට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර ඉන්දියාවේ අදානි සමාගමට සම්ප්‍රේෂණ අංශයත්, ලෙකෝ (ලංකා විදුලි පෞද්ගලික සමාගම) ආයතනය හා බෙදාහැරීම් පද්ධති 4ක් ඉන්දියාවේ ටාටා සමාගමටත් ලබාදීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01