යසවර්ධන රුද්රිගූ I
ශ්‍රී ලංකාවේ මේ වන විට භාණ්ඩ හා සේවා මිල උපරිමයෙන් වැඩි වී ඇති නිසා තවත් වැඩි වෙන්නට දෙයක් ඉතිරි වී නැතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිල හා වේතන අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නිරෝෂා දිසානායක පැවසීය.
ඇය දේශයට ප්‍රකාශ කළේ ඇතැම් භාණ්ඩවල මිල වෙනසක් ඇතිවුවහොත් එය ඉතා සුළු වශයෙන් පමණක් වන බවය. අද වන විට රටේ උද්ධමනය අඩු වී ගොස් ඍණ අගයකට පත්වී ඇත්තේ භාණ්ඩ හා සේවා මිල තවදුරටත් ඉහළ නොයන නිසා බව ඇය වැඩිදුරටත් පැවසුවාය. එය උද්ධමනය මැනීමේ වරදක් නිසා සිදුවූවක් නොවන බවද ඇය සඳහන් කළාය.
භාණ්ඩ හා සේවා මිල තවදුරටත් ඉහළ ගියහොත් පාරිභෝගිකයා ඒවා මිලදී ගැනීමෙන් වැළකී සිටිනු ඇත. එයට හේතුව ඒ මිල ඔවුනට දරාගන්නට නොහැකි වීමයි. ඒ නිසා ඔවුන් එම භාණ්ඩ හා සේවා මිලදී ගැනීම නවතා ඒ සඳහා විකල්ප සොයනු ඇති බව ඇය අවධාරණය කළාය. විශේෂයෙන් අද ඇතැම් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා පාරිභෝගිකයන් ඒවායේ ප්‍රමිතිය හා ප්‍රමාණය අවම කර තිබේ. එළවළු තුනක් සමඟ බත් කෑ අය එළවළු දෙකකට අඩුකර තිබේ. එසේම ගන්නා ප්‍රමාණයද හැකි තරම් අවම කිරීමකට පෙළඹී ඇත. ජනතාව අතර මන්දපෝෂණය ඇතිවී ඇත්තේ මේ නිසා බව අධ්‍යක්ෂකවරිය පෙන්වා දුන්නාය.