2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

’’සාමාන්‍ය පෙළ සමත් කාලගුණ ලොක්කෝ අනාවැකි වරද්දති’’ පුවත සම්බන්ධයෙනි

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 103

''සාමාන්‍ය පෙළ සමත් කාලගුණ ලොක්කෝ අනාවැකි වරද්දති'' යනුවෙන් පසුගිය සතියේ දේශය පුවත්පතේ පළවූ පුවත සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ. කරුණානායක මහතා දේශයට කරුණු දක්වා තිබේ.

පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව විසින් සිදුකළ නිරීක්ෂණයකට වැරදි අර්ථකථනයක් ලබාදී ඇති බැවින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ. ඒ සමඟ අනාවැකිකරණ අංශයේ නිලධාරීන්ගේ අධ්‍යාපන සුදුසුකම්ද සඳහන් කර අපො.ස. උසස් පෙළ සමත් නිලධාරීන් උපාධි සුදුසුකම නොසලකා කාලගුණ විද්‍යාඥ තනතුරට උසස් කර ඇතැයි පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා එහෙත් ඔවුන්ද අනාවැකිකරණයට යොදවා නැති බවද ප්‍රකාශ කර සිටී. එබැවින් දේශය පුවත්පත පළකළ වාර්තාව නිවැරදි කරන මෙන්ද ඔහු ඉල්ලා සිටී.

කර්තෘ සටහන

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන ආකාරයට නිවැරදි කළ යුතු වැරදි පුවතක් දේශය පුවත්පතෙහි පළකර නැත.

උත්තරීතර පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා සභාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පලකළ වාර්තාවේ උධෘතය මේ සමග පළකරමි. එවිට බුද්ධිමත් පාඨකයන්ට ඇත්ත කියන්නේ දේශයද කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාද යන්න වටහාගත හැකිවනු ඇත.

කෝපා වාර්තාවේ මානව සම්පත් කළමනාකරණය ශීර්ෂය යටතේ මෙසේ සඳහන්ය. (උපුටා ගැනීම)
''(අ) අධ්‍යාපන පොදු සහතකි පත්‍ර සාමාන්‍ය පෙළ සුදුසුකම පමණක් ඇති කාලගුණ විද්‍යාඥයන් 5 දෙනෙක් පමණක් සේවයේ නියුතුව සිටින බව නිරීක්ෂණය විය. ඒ අනුව අහිතකර කාලගුණික තත්ත්වයකදී කාර්යක්ෂමව නිවැරදි අනාවැකි නිකුත් කිරීමට ප්‍රමාණවත් පුහුණුවක් කාලගුණික විද්‍යාඥයින්ට ලැබී නොමැති බව නිරීක්ෂණය විය.'' (උපුටා ගැනීම අවසන්) (ඡායා පිටපත මෙහි දක්වා ඇත)

කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන අ.පො.ස. උසස් පෙළ සමත් කාලගුණ විද්‍යාඥයන් ගැන කෝපා වාර්තාවේ කිසිදු සඳහනක් නැත. එහි සඳහන් වන්නේ අ.පො.ස. සා/පෙළ සමතුන් 5 දෙනෙකු සිටින බවත් ඒ අනුව කාර්යක්ෂමව නිවැරදි ලෙස අනාවැකි කීමට ප්‍රමාණවත් පුහුණවක් කාලගුණ විද්‍යාඥයන්ට ලැබී නොමැති බවත්ය. එලෙස අනාවැකි කියන කාලගුණ විද්‍යාඥයන් සිටිනුයේ අනාවැකිකරණ අංශයේ බව එයින් පැහැදිලි වෙයි. 

මෙලෙස කියන්නේ දේශය නොව පාර්ලිමේන්තුවේ කෝපා සභාවයි. අප කළේ එම තොරතුරු මහජන යහපත උදෙසා උපුටා දැක්වීම පමණි. එසේම කාලගුණ අනාවැකි පළකිරීමට අත්‍යවශ්‍ය ඩොප්ලර් වර්ගයේ රේඩාර් උපකරණයක් නොමැතිව වසර 15ක් තිස්සේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි කියන බවද කෝපා වාර්තාවේ සඳහන්ය.
නිවැරදි අනාවැකි කීමට අවශ්‍ය රේඩාරය නොමැතිව අ.පො.ස. සා/පෙළ සමත් කාලගුණ විද්‍යාඥයන් (කෝපා සභාව කියන ආකාරයට) නිවැරදි අනාවැකි නිකුත් කරන්නේ කෙසේද යන්න කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා රටට පැහැදිලි කළ යුතුය.