2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

අයි.සී.සී.ය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරයි

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 119

ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය

 ක්‍රිකට් නිසා ආණ්ඩුවේ ගැටුමක් 
 තරග පරාජය කුමන්ත්‍රණයක්! 
 හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකුට චෝදනා 

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට පසුගිය සිකුරාදා රාත්‍රියේ තීන්දු කරන ලදී. 

ඒ අනුව මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි කර ඇත. පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දේශපාලන ගැටීම මෙයට හේතු වූ බව ක්‍රීඩා විචාරකයෝ පවසති.

ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග නවයෙන් හතක් පරාජය වීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ කණ්ඩායමෙන් පිට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණු වගත් එය තවත් දවස් දෙකකින් තමන් හෙළි කරන බවත්ය. ප්‍රමෝද්‍ය මේ සබන්ධව  කිසිවෙකුට ප්‍රසිද්ධියේ මෙතෙක් චෝදනාකර නැතත් ඔහු විසින් කිරීමට යන හෙළිදරව්වේදී හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.  කෙසේ වෙතත් මෙලෙස  සිදුකළ කුමන්ත්‍රණය කුමක්ද යන්න සඳහන් නොවුණත් පසුගිය කාලයේදී ඇතැම් ක්‍රීඩකයන් තේරීමේදී යම් යම් බලපෑම් සිදුවූ බව ක්‍රිකට් ආරංචි මාර්ග වලින් අනාවරණය විය. එහෙත් කුමන්ත්‍රණය එයද යන්න හෙළිදරව් කළ යුත්තේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසිනි.

ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර ඇති වී තිබෙන දැවැන්ත ගැටුම හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරය තුළ බරපතළ මත ගැටුමක් ඇති වී තිබෙන බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ආණ්ඩුවේ මැති ඇමැතින්ගෙන් එක් කණ්ඩායමක් සම්පූර්ණයෙන් ක්‍රිකට් ආයතනයට පක්ෂවත් කිහිපදෙනකු රොෂාන් රණසිංහ මහතාට වක්‍රවත් සහාය ලබාදෙන්නට එකඟ වී ඇති බව සඳහන් වේ. විශේෂයෙන් ක්‍රිකට් සම්බන්ධයෙන් ගැටලුව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොකර එකවර පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමත් විපක්ෂය සමඟ එක්ව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමත් ගැන ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් සිය විරෝධය ක්‍රීඩා අමාත්‍යවරයාට එල්ලකර තිබේ. එසේම කැබිනට් මණ්ඩලයේ සාමුහිකත්වය සම්බන්ධයෙන් මෙම සිදුවීමේදී ගැටලුවක් ඇතිවී ඇති බවද එම මැති ඇමතිවරු පෙන්වා දී ඇත. විශේෂයෙන් කැබිනට් මණ්ඩලයත් ජනාධිපතිවරයාත් දැනුවත් නොකර මෙලෙස අමාත්‍යවරයා ක්‍රියාකිරීම එකඟ නොවිය හැකි හැසිරීමක් බව ආණ්ඩුවේ මැති ඇමතිවරු පෙන්වා දී ඇත. ඒ නිසා මෙය දේශපාලන කුමන්ත්‍රණයක් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ මතය වී ඇත.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් ආයතනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට තීරණය කර තිබේ. දැනටමත් ඒ සම්බන්ධයෙන් නීති උපදෙස් පතමින් යන බවද දැනගන්නට ඇත.

I ගයාන් ගාල්ලගේ

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00