2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා

කලාපේ සේවකයන් දොට්ට දාන අලුත්ම උප්පරවැට්ටිය!

 2023 නොවැම්බර් 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාI

ඇතැම් ඇඟලුම් කර්මාන්තශාලා හිමියන් තම සේවයකයන් සේවයට නොකැඳවා මූලික වැටුපෙන් සියයට 50ක් පමණක් ගෙවමින් මාස ගණන් නිවෙස්වල තබා ඇතැයි නිදහස් වෙළෙඳ කලාපයේ හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා දේශයට පැවසීය.

සාමාන්‍යයෙන් ඇඟලුම් කම්හල් සේවකයකුගේ මූලික වැටුප රුපියල් 16,000ක් වන අතර මෙවැනි තත්ත්වයක් යටතේ ඔවුනට හිමිවන්නේ 8,000ක වැටුපකි. පවතින ජීවන වියදම හමුවේ එම වැටුපෙන් ජීවත් වීමට නොහැකි බැවින් ඇතැම් සේවකයන් වෙනත් රැකියා සඳහා යොමුවන අතර මෙය සේවකයන් යළි සේවයට කැඳවන අවස්ථාවේ සේවයට වාර්තා නොකරන පිරිස් සේවය අතහැර ගියා සේ සලකමින් කිසිදු වන්දි මුදලක් නොගෙවා ඉවත් කිරීමට කර්මාන්ත ශාලා හිමියන් සිදු කරන උපක්‍රමයක් බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට එවැනි කර්මාන්ත ශාලා 100කට ආසන්න ප්‍රමාණයක් පවතී. සේවකයන් 200කට අධික පිරිසක් සේවය කරන නිට්ටඹුවේ එක්තරා කර්මාන්ත ශාලාවක මාස තුනක් මුළුල්ලේ සියයට 50ක වැටුපක් ගෙවමින් නිවෙස්වල රඳවා ඇති අතර ඒ සඳහා කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය ද හිමි වී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එම ආයතනයේ ඇතැම් සේවකයන් වසර 20කට වඩා වැඩි කාලයක් එම ආයතනයේ සේවය කර ඇති නමුත් ඔවුනටද මෙම තත්ත්වය යටතේ කිසිදු වන්දියක් නොමැතිව සේවය හැර යාමට සිදුවිය හැකි බවද ඇන්ටන් මාකස් මහතා කීය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට ලක්ෂ පහකට අධික පිරිසකගේ රැකියා අහිමි වී ඇති අතර ඉන් තුන් ලක්ෂ අනූහතර දහසක් කර්මාන්ත අංශයේ සේවකයන්ය. මේ වන විට විවිධ කර්මාන්ත ශාලා 2000කට ආසන්න සංඛ්‍යාවක් වැසී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01