2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

දූෂණ විරෝධී පනතේ වැරැදි වගන්ති රැසක්

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, ප.ව. 02:03 122

 කඩිනම් සංශෝධනයක් ඕනෑ - අල්ලස් කොමිසම 

අධිකරණ වාර්තාකරු I

මැතිසබය විසින් සම්මත කරන ලද නව දූෂණ විරෝධී පනතේ වැරුදි සහගත වගන්ති සියයකට අධික ප්‍රමාණයක් අලුතින් හඳුනාගෙන ඇති බව අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. මෙම හඳුනාගැනීම සිදු කළේ නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ ඒකාබද්ධ අධ්‍යයනයකදී බවත් හෙතෙම සඳහන් කළේය.

එබැවින් කඩිනමින් නව දූෂණ විරෝධී පනත නැවතත් සංශෝධනය කරන ලෙස ජනාධිපති, අග්‍රාමාත්‍ය, කතානායක සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීන්දු කළේය. මෙම ඉල්ලීම සමඟ කොමිසම සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් හඳුනාගනු ලැබූ පනතේ වැරදි වගන්තිවලට අදාළ පූර්ණ විස්තර වාර්තාවක්ද ඉදිරිපත් කිරීමට නියමිත බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මෙම වැරුදි නිවැරුදි කර නැවතත් දූෂණ විරෝධී පනත සංශෝධනය කරනතුරු අලුතින් නඩු පැවරීම පවා කළ නොහැකි වී ඇතැයිද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නීති උපදේශකයන් සහ අල්ලස් දූෂණ කොමිෂන් සභා සාමාජිකයන් පනතේ වැරුදි හඳුනාගැනීම සඳහා දින තුනක් විශේෂ සාකච්ඡා මාලාවක් පවත්වා ඇත.