2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා

සෞඛ්‍යයට වැඩිවෙයි ආරක්ෂාවට - අධ්‍යාපනයට අයවැයෙන් අඩුවෙයි!

 2023 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 02:00 53

 ව්‍යාපාරික වාර්තාකරු I

මෙවර අයවැය ලේඛනය මගින් රටේ ආරක්ෂක සහ අධ්‍යාපන වියදම් සමස්ත වියදමේ ප්‍රතිශතයක් ලෙස පසුගිය වසරට සාපේක්ෂව අඩුකර තිබේ. එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වන වියදම සෑහෙන පමණ ඉහළ දමා ඇත.

2023 අයවැයේ ජාතික ආරක්ෂක වියදම වූයේ රුපියල් බිලියන 410කි. එය සමස්ත වියදමේ ප්‍රතිශතයක් ලෙස ගත් කල 11.22%කි. 2024 වසර සඳහා ජාතික ආරක්ෂාවට රුපියල් බිලියන 423ක් වෙන්කර ඇතත් එය සමස්ත වියදමේ ප්‍රතිශතයක් ලෙස ගත් කල 10.97%කි.

අධ්‍යාපන ක්ෂේත්‍රය ගත් කල පසුගිය වසරේ අයවැය මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 232ක් වෙන්කර තිබුණි. එය සමස්ත වියදමේ ප්‍රතිශතයක් ලෙස 6.35%කි. මෙවර අයවැය මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 237ක් වෙන්කර ඇති නමුත් එය සමස්ත වියදමේ ප්‍රකාශනයක් ලෙස 6.14%ක් දක්වා අඩුකර තිබේ.

එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා අයවැයෙන් විශාල මුදලක් වෙන්කර ඇත. පසුගිය වසරේ අයවැය මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 322ක් වෙන්කර තිබුණි. එම සංඛ්‍යාව සමස්ත වියදමින් 8.81%කි. එහෙත් 2024 වසර සඳහා යෝජිත ඇස්තමේන්තුව මගින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 410ක් වෙන්කර දී තිබේ. එය මෙරට සමස්ත වියදමින් 10.63කි. එය අර්බුදකාරී සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල සහනයක් වනු ඇතැයි පැවසේ.