දේශපාලන වාර්තාකරු I
ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන නව දේශපාලන සන්ධාන හතරක් ස්ථාපිත කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සැලසුම් කරමින් සිටින බව දේශයට වාර්තා වෙයි. කලක් දේශපාලනයේ තිරය පිටුපස චරිතයක් නිරූපණය කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව කලකට පෙර පිහිටුවන ලද පොදු පෙරමුණ (පුටුව ලකුණ සහිත) නැවත පණගැන්වීමට පියවර ගනිමින් සිටින බව සඳහන් වෙයි.
මේ සඳහා දැනට සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. එහිදී යෝජනා වී ඇත්තේ ශ්‍රීලනිප සභාපති ධූරයට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පත්කරගෙන පක්ෂයේ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමයි. එහෙත් ශ්‍රීලනිපයේ එක්තරා කණ්ඩායමක් ප්‍රකාශ කරන්නේ චන්ද්‍රිකා මහත්මියට යෝජිත සන්ධානයේ නායකත්වය පැවරීමට තමන් විරුද්ධ බවය.
ශ්‍රීලනිප - පොදු පෙරමුණ සන්ධානයට අමතරව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය යටතේද අලුත් දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා සැලසුම් කර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජන බලවේගය තවත් පක්ෂ ගණනාවක් හා එක්ව තෙවැනි සන්ධානය නිර්මාණය කිරීමට පියවර ගනිමින් සිටී. වතුකර පක්ෂ, මුස්ලිම් පක්ෂ හා තවත් කුඩා පක්ෂ ගණනාවක් සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වනු ඇතැයි කියැවේ.
මේ අතර එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන්ද තවත් සන්ධානයක් පිහිටුවනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.
ඊට අදාළ මූලික සාකච්ඡා දැනටමත් රනිල් හිතවාදී නිමල් ලංසා කණ්ඩායම විසින් මෙහෙයවමින් සිටී. එම සන්ධානය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද ලංසා පිල සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. ඊට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය, නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා සහ ජෝන් සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් එක්වූ බවද සඳහන්ය.