2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

ඩයි දැමූ සුදු සීනි කිලෝවකින් රු.150ක් ලාබයිලු!

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වාI

මේ දිනවල වෙළෙඳපොළේ නිර්මාණය වී ඇති සීනි හිඟය ආශිර්වාදයක් කරගෙන ඇති ඇතැම් කූඨ වෙළෙඳුන් සුදු සීනිවලට ඩයි කලවම් කර රතු සීනි බවට පත්කොට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් සිටින බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.

රුපියල් 217ට ගෙන ආ සුදු සීනි ඩයි දමා රුපියල් 350ත් 370ත් අතර මිලකට අලෙවි කොට සීනි කිලෝවකින් රුපියල් 150ක පමණ ලාබයක් මෙම ජාවාරම්කරුවන් උපයන බව පැවසූ ඔහු, මෙම දුඹුරු සීනි වතුරට දැමූ විගස වතුර කහ පාටට හැරෙන අතර ඒ අනුව ඩයි දැමූ සීනි පහසුවෙන් හඳුනාගත හැකි බවද සඳහන් කළේය.

සීනි හිඟයත් සමඟ විවෘත වෙළෙඳපොළේ 260 තිබූ සුදු සීනි කිලෝව රුපියල් 310ක් වූ අතර 290ට පැවැති පැකට් නොකළ රතු සීනි කිලෝව රුපියල් 350 දක්වා ඉහළ ගියේය.

මේ වන විට සුදු සීනි සඳහා රුපියල් 275ක්ද රතු සීනි සඳහා 330ක්ද වශයෙන් පාලන මිලක් පවතී. පැකට් කළ සුදු සීනි කිලෝවක පාලන මිල රුපියල් 295ක් වන අතර පැකට් කළ රතු සීනි කිලෝවක මිල රුපියල් 350 කි.