සංජීවිකා සමරතුංග I
පාර්ලිමේන්තුවේ කෝපා සභාව (රාජ්‍ය ගිණුම් කාරක සභාව) හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කරන ලද නියමය අනුව ගිණුම් කාරක සභාව හමුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව ගිණුම් කාරක සභාවේ සභාපතිවරයාට නිල වශයෙන් දැනුම් දී තිබේ.
මානව හිමිකම් කොමිසම වෙත යට කී දැනුම් දීම සිදුකළේ ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය ගිණුම් කාරක සභාව විසිනි. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් මානව හිමිකම් කොමිසම කෝපා සභාවේ මෙම නියමය ප්‍රතික්ෂේප කළේ හේතු දැක්වීමක්ද සහිතව බව දේශයට වාර්තා වෙයි. ඒ අනුව සඳහන් කර ඇත්තේ මානව හිමිකම් කොමිසම ස්වාධීන කොමිෂන් සභාවක් වන බැවින් එවන් කොමිසමක් පවත්නා නීතිමය තත්ත්වය තුළ කෝපා සභාව හමුවට කැඳවිය නොහැකි බවයි.
මැති සභා ස්ථාවර නියෝග අනුව ස්වාධීන කොමිෂන් සභා කැඳවිය හැක්කේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා සභාපතිත්වය දරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවට පමණක් බවද මානව හිමිකම් කොමිෂන් සභාව යැවූ ලිපියේ සඳහන් වෙයි.
එහෙත් ඉන් අනතුරුව මානව හිමිකම් කොමිසම වෙත නැවත කෝපා සභාව කරුණු දැක්වීම නිසා එහි ගිණුම් අංශයෙහි නිලධාරීන් පිරිසක් කෝපා සභාවට මානව හිමිකම් කොමිසමේ ගිණුම් වාර්තා පිළිබඳව පමණක් පැහැදිලි කිරීම සිදුකර තිබෙන බව වාර්තා වෙයි.