2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

මහ බැංකුවේ කතාව ජනතාවට මහ බරක් - මහාචාර්ය වසන්ත අතුකෝරළ

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01 144

I යසවර්ධන රුද්රිගු

ලබන වසරේදී උද්ධමනය හෙවත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ වේගය සියයට 5ක මට්ටමේ රඳවා ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවද එවැනි උද්ධමනයක් හෝ දරාගැනීමට රටේ ජනතාවට හැකිවේද යන්න අවිනිශ්චිත බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල ප්‍රකාශ කළේය.

ඔහු දේශය පුවත්පතට පැවසුවේ දැනට පවත්නා සියයට 1.6 වන උද්ධමනය යටතේ වුවද ජනතාව විශාල පීඩනයකට ලක්ව සිටින බවය. භාණ්ඩ හා සේවා මිල මට්ටම් මේ වන විට උපරිමයට ළඟා වී තිබෙන අතර තවත් වැඩි වන්නට දෙයක් ඉතිරි වී නැති බව හෙතෙම වැඩිදුරටත් කීය.

මෙතෙක් බද්දෙන් නිදහස්ව තිබූ භාණ්ඩ වර්ග 97 කට ලබන වසරේ සිට අලුතින් සියයට 18 ක වැට් බද්දක් පනවන අතර සෙසු භාණ්ඩවල බද්ද ද සියයට 18 දක්වා සියයට තුනකින් ඉහළ නංවනු ඇත. මෙම බදු පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි සියයට 5 ක මට්ටමේ උද්ධමනය පවත්වාගෙන යාමට හැකිවේද යන්න සැක සහිත බව පවසන මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ සියයට 5 ක උද්ධමනයක් පැවතියද ජනතාවට එයට මුහුණදීම දුෂ්කර වනු ඇති බවය. ඒ නිසා රජය උත්සාහ කළ යුත්තේ දැනට පවත්නා සියයට 1 ක උද්ධමන මට්ටම හෝ අඩුකිරීමට බව හෙතෙම පෙන්වා දුන්නේය.