2024 ජනවාරි 06 වන සෙනසුරාදා

සංචාරකයන්ගෙන් පසුගිය වසරේ ඩොලර් කෝටි 200ක්

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

කොවිඩ් වසංගතය, පාස්කු ප්‍රහාරය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය සමයේ පසුබෑමකට ලක්ව තිබූ සංචාරක කර්මාන්තය වසර 4කට පසු යළි හිස ඔසවමින් සිටින අතර 2023 වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන් 14,89,000ක් පැමිණ ඇතැයි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. පසුගිය වසරේ තම ඉලක්කය ලක්ෂ 15ක් වූ අතර එම ඉලක්කයෙන් 99%ක් සපුරා ගැනීමට හැකිවූ බවද ඉන් මෙරට ආර්ථිකයට හිමිවූ විදේශ විනිමය ඩොලර් කෝටි 200 (බිලියන 2ක්) බවද ඔහු පැවසීය.

වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 3කට අධිකය. රුසියාවෙන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක්ද, එක්සත් රාජධානියෙන් එක්ලක්ෂ තිස්දහසක් සහ ජර්මනියෙන් එක්ලක්ෂ දෙදහසක්ද, චීනයෙන් හැට අටදහසක්ද පැමිණ තිබේ. 

2024 වසරේ සංචාරකයන් ලක්ෂ 23ක් මෙරටට ගෙන්වා ගැනීමට හා එමගින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6ක ආදායමක් උපයා ගැනීමත් 2027 වන විට මෙරටට වැඩිම විදේශ විනිමය ගෙන එන කර්මාන්තය සංචාරක කර්මාන්තය බවට පත් කිරීමත් ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අරමුණ වී තිබේ. 

කොළඹින් බැහැර සීගිරිය, දඹුල්ල, හබරණ වැනි සංචාරක ආකර්ෂණ කලාපයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකොට එම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ට රාත්‍රී කාලයේ විනෝදාස්වාදය ලබාගත හැකි ක්‍රියාකාරකම් හා රාත්‍රී වෙළෙඳසල් ඇති කිරීමෙන් වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකි බවද ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.