දේශපාලන වාර්තාකරු I
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටක් නොවන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ. ඔහු පසුගියදා මේ බව ප්‍රකාශ කළේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වීමට හේතු සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමිනි. පසුගිය වසරේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කළැයි කී සඳහන සම්පූර්ණයෙන් වැරදි බව අවධාරණය කළ මුදල් ලේකම්වරයා එදා සිදු කළේ ශ්‍රී ලංකාවේ ඇතැම් ණය හිමියන්ට ගෙවීමට තිබෙන ණය සහ පොලී මුදල් නැවත ගෙවීම කෙටි කලකට ප්‍රමාද වන බව දැන්වීම පමණක් යැයි සඳහන් කළේය. එය රට බංකොලොත් වීමක් යැයි අර්ථකථනය කිරීම වරදක් බවද මුදල් ලේකම්වරයා කීය.
මෙහිදී එම පාර්ලිමේන්තු කමිටුව ඔහුගෙන් ප්‍රශ්න කර ඇත්තේ රට බංකොලොත් කළා යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරුන් හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධරයන්ට දැනටමත් අධිකරණයෙන් දඬුවම් නියම කර ඇති බවය. ඒ ගැන කිව හැක්කේ කුමක්දැයි මුදල් ලේකම්වරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු සඳහන් කර ඇත්තේ තමන් එම නඩුවේ පාර්ශ්වකරුවකු නොවූ නිසා ඒ ගැන තමන්ට යමක් කිව නොහැකි බවය.