කුසුම්සිරි විජයවර්ධන I
දිවයිනේ මෙතෙක් සොයාගෙන ඇති ලොකුම සෙල්ලිපිය ලෙස සැලකෙන දිඹුලාගල සෙල්ලිපිය කියවීමට විද්වත් කමිටුවක් පසුගිය සතියේ පත්කළ බව වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මිය දේශයට පැවසුවාය. දිඹුලාගල ආරණ්‍ය සේනාසන වනයේ ගල් පර්වතයක කොටා තිබියදී පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සොයාගත් මේ සෙල්ලිපිය නොවැම්බර් 16 දින වනවිට පිටපත් කර අවසන් විය. එහෙත් එහි අන්තර්ගතය කුමක්දැයි මෙතෙක් අනාවරණය වූයේ නැත.
ඒ නිසා මෙම විදවත් කමිටුව මගින් සෙල්ලිපිය කියවා එහි ඇතුළත් තොරතුරු අනාවරණය කර ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අරමුණ වී තිබේ. අඩි 50ක දිගකින් සහ අඩි 9ක උසකින් යුක්ත සෙල්ලිපිය අක්ෂර පේළි 10කින් යුක්තය.
සෙල්ලිපියක් කියවීම කඩිනමින් හදිස්සියට කළ නොහැකි දෙයක් බවත් ඉතා විමසිල්ලෙන් සහ සැලකිල්ලකින් කළ යුතු ශාස්ත්‍රීය කාර්යයක් බවත් පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඒ ගැන වඩාත් නිවැරදි කියවීමක් ලබාගෙන රටට ඉදිරිපත් කිරීමට මෙසේ කමිටුවක් පත්කිරීමට තීරණය කළ බවත් පැවසුවාය. එම විද්වත් කමිටුවට සෙල්ලිපි පිළිබඳ විශේෂඥ දැනුමකින් යුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අභිලේඛන අධ්‍යක්ෂ ආචාර්ය මාලනී ඩයස්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය කරුණාසිරි හෙට්ටිආරච්චි සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෙල්ලිපි සහ නාණක විද්‍යා අංශයේ නිලධාරීන් ද ඇතුළත් බව ඇය පවසා සිටියාය.