2024 ජනවාරි 27 වන සෙනසුරාදා

ඔය කියනවට වඩා උද්ධමනය නගිනවා: මහාචාර්ය අමින්ද කියයි

 2024 ජනවාරි 27 වන සෙනසුරාදා, ප.ව. 02:01 111

යසවර්ධන රුද්ද්‍රිගුI

ජනවාරි මාසයේ උද්ධමන අනුපාතිකය සියයට 7 දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවද, අනිවාර්යයෙන්ම ජනවාරි මස උද්ධමන වේගය සියයට 9 ඉක්මවා ඉහළ නැගීමට බොහෝ දුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.

එසේම ඉදිරියේදී උද්ධමන සියයට 4 - 6 වැනි සාමාන්‍ය අගයක පවත්වාගෙන යාමට හැකිවන බවට අධිපතිවරයා විශ්වාසය පළ කළ ද අද පවතින මිල මට්ටමේ වැඩිවීම හා ආර්ථික පරිසරය අනුව වසර පුරාවටම මෙයට වඩා වැඩි අගයක උද්ධමනයක් නිර්මාණය වනු ඇතැයි යන්න ඔහු සඳහන් කරයි.

එසේම උද්ධමනය සියයට 2.5 වැඩිවනු ඇති බව මහ බැංකු අධිපති පුරෝකථනය කළ ද ලබන අප්‍රේල් උත්සව සමය වන විට උද්ධමනය 9 – 10 තරමේ ප්‍රතිශතයකට ඉහළ නැගීම නවත්වා ගැනීමට බැරිවනු ඇතැයි හෙතෙම පවසයි. එයට හේතුව වන්නේ ඇතැම් වෙළෙඳුන් වැට් බද්ද උපයෝගී කරගෙන විශාල වශයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ නංවන නමුත් රජය ඒ පිළිබඳ පියවරක් නොගෙන සිටීමය. රටේ ආර්ථික වර්ධනය අඩු මට්ටමක පැවතීමද මෙලෙස උද්ධමනය ඉහළ යාමට බලපාන අතර රජය සියයට 5ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරනුයේ ආර්ථික වර්ධනය සියයට 1.6ක පවතින බවටය.