අධිකරණ වාර්තාකරු I
වංචනික ලෙස වැට් බදු අයකොට රජයට හා පාරිභෝගික ජනතාවට වංචා කරන පෞද්ගලික සහ රාජ්‍ය ආයතන වැටලීමට අල්ලස් හෝ දූෂණ කොමිසම සැලසුම් කරමින් සිටින බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
වැට් බදු අයකිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී වංචනිකව ජනතාවගෙන් වැට් බදු මුදල් ලබාගෙන යටිමඩි ගසන ආයතන ගැන ප්‍රධාන මාධ්‍යවල හා සමාජ මාධ්‍යවල නිතර වාර්තා පළවෙයි.
මෙවන් ආයතන බරපතළ මූල්‍ය වංචා දෙකකට වගකිව යුතුය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී වැට් බදු අයකිරීම බරපතළ මූල්‍ය අපරාධයකි. එමගින් රජයට වංචාවක් සිදුකරන අතර අනෙක් අතින් නීතිමය බලයක් නොමැතිව පාරිභෝගික ජනතාවගෙන් වැට් බදු අයකිරීමෙන් කරන්නේද මූල්‍ය වංචාවකි. එනිසා ඊට අදාළව කොමිසමට ලැබෙන තොරතුරු අනුව ක්‍රියා කිරීමට නව දූෂණ විරෝධී පනතින් කොමිසමට බලය හිමිව ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ ගැන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මියගෙන් දේශයට කළ විමසුමට පිළිතුරු දුන් කොමසාරිස් ජනරාල්වරිය කියා සිටියේ වැට් බදු ගෙවීමට සුදුසුකම් ඇති එහෙත් මෙතෙක් වැට් බද්ද සඳහා ලියාපදිංචි නොවූ ආයතනවලට ලියාපදිංචිය ලබාගැනීමට පෙබරවාරි මස 15 දින දක්වා කල් ලබා දී ඇති බවයි. ඉන් පසුවත් ලියාපදිංචි නොවී යම් ආයතනයක් වැට් බදු අයකරන්නේ නම් එම ආයතන වැටලීම පෙබරවාරි 15දායින් පසුව අරඹන බවද ඇය සඳහන් කළාය.