2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

තේ රට යැවීම අඩුවෙයි: ආදායම වැඩිවෙයි

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

පෙර වසරවලට වඩා 2022 සහ 2023 වසරවල තේ අපනයනය කිලෝ මිලියන 50කින් පමණ පහත වැටී තිබේ. 2022ට පෙර වසරකට තේ කිලෝ මිලියන 300ක් පමණ අපනයනය කළද ගෙවුණු දෙවසරේ අපනයනය කර ඇත්තේ වසරකට තේ කිලෝ මිලියන 250ක් පමණ ප්‍රමාණයක් යැයි තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ජයන්ත කරුණාරත්න මහතා දේශයට සඳහන් කළේය. 

පසුගිය කාලයේ ඇතිවූ පොහොර හිඟය මත තේ නිෂ්පාදනය අවම වීම සහ ශ්‍රී ලංකාවේ විශාලතම තේ වෙළෙඳපොළ වන ඉරාකය, ඉරානය, රුසියාව, තුර්කිය, වැනි රටවල නිර්මාණය වී ඇති අර්බුද තේ අපනයනය යම් පමණකින් අවම වීමට බලපා තිබේ. මෙරට තේ නිෂ්පාදනය යළි යථා තත්ත්වයට පත්වීමට තවත් වසර ගණනක් ගතවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. කෙසේ නමුදු 2023 වසරේ තේ අපනයනයෙන් ලද ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3කි.

මෙරට තේ නිෂ්පාදනය අවම වුවද ශ්‍රී ලංකා තේ සඳහා ඇති ඉල්ලුම හේතුවෙන් තේ මිලෙහි වැඩිවීමක් දැකිය හැකිය. මේ වන විට තේ කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 1250ක් පමණ වන අතර ඇතැම් තේ වර්ග කිලෝවක් රුපියල් 5000ක් වැනි මිලකටද වෙන්දේසියේදී අලෙවි වන බව කරුණාරත්න මහතා සඳහන් කළේය.

පෙර වසරයන්හි පැවැති තේ නිෂ්පාදන මට්ටමට ළඟා වී නොමැති නමුදු පසුගිය වසර අවසන් වන විට තේ නිෂ්පාදනය සුළු වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන්නේ යැයි තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා සඳහන් කළේය. පොහොර අර්බුදයට තවමත් විසඳුම් ලැබී නොමැති අතර අද වන විට පොහොර මිටියක මිල රුපියල් 12,000ක් වැනි ඉහළ මට්ටමක පවතින බැවින් තේ වගාකරුවන් විවිධ අසීරුතාවලට මුහුණ පා ඇතැයිද ඔහු සඳහන් කළේය.

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:01