2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

නිදහස් සැමරුම තායි අගමැති ප්‍රධානත්වයෙන්

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00 27

I කුසුම්සිරි විජයවර්ධන

76 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ‘හදමු අලුත් රටක්’ තේමාව යටතේ කොළඹ ගාලුමුවදොර පිටියේදී අද දින (පෙබරවාරි 4දා) පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. 

ජාතික නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රේතා තාවිසින් (Srettha Thavisin) එක්වන අතර ඔහු පැමිණෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුවය.

තායි අග්‍රාමාත්‍යවරයා සමඟ තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා වාණිජ අමාත්‍ය පුම්තාම් වෙචයතායි (Phumtham Wechayachai), නියෝජ්‍ය විදේශ අමාත්‍ය ජැකපොං සංග්මානී (Jakkapong Sangmanee) යන මහත්වරුන්ද, ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිතයන්ද ඇතුළු 39 දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක් නිදහස් උළෙලට සහභාගි වෙති.

මෙවර නිදහස් උළෙල සඳහා රජය රු. කෝටි 20ක මුදලක් වෙන්කර ඇති අතර ඒ අවස්ථාවට ආරාධිතයන් 2500ක් පමණ සහභාගිවීමට නියමිතය. ජාතික නිදහස් දිනයේ උදෑසන 6.30ට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටුවා ඇති නිදහස් සටනේ ජාතික විරු ප්‍රතිමා අබියස පුෂ්පෝපහාර පිරිනැමීම සිදු කෙරේ. ඒ ජනාධිපති කාර්යාලයීය නිලධාරින්ගේ සහභාගිත්වයෙනි.

මෙවර සංස්කෘතික අංගවලින් තොරව ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාර පෙළපාළි සහිතව නිදහස් උත්තමාචාර පෙළපාලිය පැවැත්වේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 3042ක්, සන්නද්ධ රථ 77ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් 917ක්, සන්නද්ධ රථ 7ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් 605ක් සහ සන්නද්ධ රථ 27ක්, ශ්‍රී ලංකා පොලිසියේ සාමාජිකයන් 299ක්, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් 209ක්, සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 379ක්, ජාතික ශිෂ්‍ය භට බලකායේ සාමාජිකයන් 500ක්, විශ්‍රාමික නිලධාරින් 22ක්, ආබාධිත නිලධාරීන් 29කින් ආචාර පෙළපාලිය සමන්විත වේ.