ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
තමන් සමඟ කිසිදු සාකච්ඡාවක නිරත නොවී රුපියල් 1000 ලෙස පවතින වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව පියවර ගත්තද තේ නිෂ්පාදනය සඳහා වන ඉහළ පිරිවැය හමුවේ තමන්ට මෙම වැඩි කළ වැටුප ලබා දිය නොහැකි යැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි මහතා ප්‍රකාශ කරයි. අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට අධිකරණ පියවර ගැනීමට තමන් පියවර ගන්නා බවද එම සංගමය ප්‍රකාශ කරයි.
2024 අප්‍රේල් 30 දින සිට බලපැවැත්වෙන පරිදි තේ සහ රබර් වතුකම්කරු වැටුප 1700 දක්වා වැඩි කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. කම්කරු කොමසාරිස්වරයාගේ අත්සනින් යුතු එම ගැසට්ටුව අනුව දෛනික වැටුප රුපියල් 1350ක් සහ දෛනික විශේෂ දීමනාව රුපියල් 350ක්ද වනු ඇත. ඒ හැර වැඩිපුර ගෙනෙන සෑම කිලෝවක් සඳහා රුපියල් 80ක ගෙවීමක් ලබා දීමටද පියවර ගෙන තිබේ.
තේවතුවලින් 75% ක් වතු සමාගම් සතුව ඇති අතර 25% ක් පමණ කුඩා තේ වතුය. තේ නිෂ්පාදනය සලකා බැලීමේදී කුඩා තේවතු සමස්ත නිෂ්පාදනයෙන් 75% ක්ද සමාගම් යටතේ ඇති වතුවලින් 25% ක්ද නිෂ්පාදනය කෙරෙන බවද වාර්තා වේ. ලක්ෂ 12ක්ව පැවැති වතු කම්කරු ජනතාව මේ වනවිට එක්ලක්ෂ හතළිස් තුන්දහක් දක්වා පහත වැටී තිබේ. මෙයින් 85% ක්ම කාන්තාවන්ය. වතු කම්කරු ශ්‍රම බලකාය අඩුවීමට බලපා ඇත්තේ බොහෝ කම්කරුවන්ට ජීවත් වීමේ අර්බුද හමුවේ රුකියාව එපා වීම යැයි වතු වෘත්තිය සමිති සඳහන් කරයි.
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000ක් වුවද ඇතැම් සමාගම් රුපියල් 1200ක් වැනි මුදලක් ගෙවීමට කටයුතු කර ඇතැයිද වාර්තා වේ.