2024 මැයි 11 වන සෙනසුරාදා

ටෙස්ට් ක්‍රිකට් වලින් දිනුවත් සල්ලි පැරදුණත් සල්ලි

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 15

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ටෙස්ට් ක්‍රීඩකයන් දිරිමත් කිරීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවන ගාස්තුව සියයට සියයකින් ඉහළ දමන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

දැනට ටෙස්ට් තරගයකට සහභාගි වන එක් ක්‍රීඩකයකුට ගෙවනු ලබන මුදල ඇමෙරිකානු ඩොලර් 7500කි. (රුපියල් ලක්ෂ 22ක් පමණ මුදලකි.) නව ගෙවීම් අනුව ජයග්‍රහණය කරන එක් ටෙස්ට් තරගයක් සඳහා එක් ක්‍රීඩකයකුට ඇමෙරිකානු ඩොලර් 15,000ක් (රුපියල් ලක්ෂ 44ක් පමණ) ද, ජය පරාජයෙන් තොරව අවසන් කරන ටෙස්ට් තරගයක් සඳහා එක් ක්‍රීඩකයකුට ඇමෙරිකානු ඩොලර් 12,500ක්ද, තරගයක් පරාජය වුවද ඇමෙරිකානු ඩොලර් 10,000ක්ද හිමිවනු ඇත.

වැඩි කරන ලද ගෙවීම් ශ්‍රී ලංකා ක්‍රිකට් මාර්ගෝපදේශයන්ට අනුකූලව එක් එක් ක්‍රීඩකයාගේ තරග කොන්ත්‍රාත්තු මත පදනම්ව ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකාව අගෝස්තු මාසයේදී එංගලන්තයට එරෙහිව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වන අතර පසුව නවසීලන්තයට සහ දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියට මේ වසරේ තරග කිරීමට නියමිතය.