ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් වතු සමාගම් සහ රජය අතර මතුව ඇති අර්බුදය විසඳීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති අතර එයට කැබිනට් අනුමැතිය ලබා දී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වයට බලපා ඇති ආකාරය පිළිබඳව ගණනය කොට එයට සරිලන පරිදි ඔවුන්ගේ අවම දෛනික වැටුප තීරණය කිරීම හා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මත ආණ්ඩුව විසින් වැඩි කිරීමට තීරණය කළ වැටුප ගෙවිය නොහැකි බවට වතු සමාගම් කරන ප්‍රකාශ අනුව ඔවුන්ගේ ආදායම, වියදම සහ අනෙකුත් පරිපාලන වියදම් පිළිබඳව සොයා බලා වතු කම්කරුවන්ට වැඩි කළ දෛනික වැටුප ගෙවීමට නොහැකිද යන්න විමර්ශනය කිරීම මෙම කමිටුවට පැවරී තිබේ.
දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දී ඇති රජය සතු වතු සමාගම් 22ක් පවතින අතර එම සමාගම් අකාර්යක්ෂම ලෙස පාලනය වන්නේ නම් ලබා දී ඇති දීර්ඝ කාලීන බදු ගිවිසුම් අහෝසි කොට වඩා කාර්යක්ෂම ලෙස එම වතු පවත්වාගෙන යා හැකි පාර්ශ්වයන්ට ලබා දීම සඳහා අධ්‍යයනයක් කිරීමටද මෙම කමිටුව මගින් සිදු කිරීමට නියමිතය.