2024 ජුනි 01 වන සෙනසුරාදා

කොළඹ නගරයේ තැන් 21ක් යටවෙනවා

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:02 85

කුසුම්සිරි විජයවර්ධන I

අධික වැස්සට කොළඹ නගරයේ මාර්ග යටවී වාහන ගමනාගමනයට සහ ජන ජීවිතයට බාධා වන ස්ථාන 21ක් පමණ හඳුනාගෙන ඇති බවත් ඒ යටවීම් වැළැක්වීමට තාවකාලික, කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් කොළඹ නගර සභාවේ අධ්‍යක්ෂ (ජල සම්පාදන) ඉංජිනේරු ප්‍රියංකර රණවක මහතා දේශයට පැවසීය. කෙටි කාලීන වැඩපිළිවෙළ යටතේ ජලය එක්රුස්වන ස්ථානවල මාර්ග, කාණු සහ ගලි සුද්ද කිරීම කරන අතර අධික වැසි මැද වුවද මේ සෑම ගැටලුවකටම විසඳුම් සැපයීමට නගර සභාව ක්‍රියාත්මක වන බවත් ඔහු සඳහන් කළේය.  

නිතර යටවීමෙන් ජන ජීවිතයට බාධා වන ස්ථාන අතරින් මුල් තැනක් ගන්නේ දිවුල්ගස් හන්දිය ජේතවනාරාමය අසල, ග්‍රීන් පාත්, නොරිස් කැනල් පාර, ඩීන්ස් පාර, මරදාන දේවානම්පියතිස්ස මාවත යන ස්ථාන බවත් සමහර තැන්වල ජලය බැස යාමට ඇති බාධා ඉවත් කිරීමට නඩු කටයුතු ක්‍රියාත්මක කර ඇතැයිද ඔහු වැඩිදුරටත් කීය. 

කොළඹ 9 බෝධිරාජ මාවත ඇතුළු ජල මට්ටමට පහළින් පිහිටි ජනතාව අධිකව ජිවත් වන වතු සමහරක් ද ජලයෙන් යටවන අතර එම ජනතාව මහල් නිවාස තනා වගුරු සහිත ස්ථානවලින් ඉවත් කළ යුතු බවත් පැවසූ ඔහු බොහෝවිට අධික වැස්සට ජලය පිරුණු මාර්ගවල ජලය විනාඩි 40ත් 50ත් අතර කාලයකින් පසු බැස යන බව පැවසුවේය. වර්ෂ කිහිපයකට පෙර ලෝක බැංකු ආධාර ඇතිව ක්‍රියාත්මක වුණු ජල බස්නා අභ්‍යන්තර කාණු ව්‍යාපෘතිය නිමාවට පත්වී තිබේ. අනතුරුව තවත් එවැනි දීර්ඝකාලීන ව්‍යාපෘතියකට අරමුදල් ලබාගැනීමේ මූලික සැලසුම් මේ දිනවල සකස් කෙරෙන බවත් ඔහු වැඩිදුරටත් කීය.