2024 ජුනි 08 වන සෙනසුරාදා

මිහින්තලේ පොසොන් පිංකමට දේශපාලන පොල්ලක්!

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

කුසුම්සිරි විජයවර්ධන I

මිහින්තලා පුදබිමේ පැවැත්මට මෙන්ම පොසොන් මංගල්‍යයටත් ආණ්ඩුවේ ඉහළම තැනකින් බාධා සිදුවන බවත් ඊට අමතරව මෑතකදී පැමිණි එක්තරා විරුද්ධ දේශපාලන පක්ෂයකට සම්බන්ධ පුරාවිද්‍යා නිලධාරියකු ද පුදබිමේ සුළු ඉදිකිරීමක්වත් කිරීමට ඉඩ නොදෙන බවත් මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ දේශයට පැවසූහ. අක්කර දහසක් පමණ විශාල මිහින්තලා පුදබිමේ ආරක්ෂාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ නාවික, ගුවන් හා යුද හමුදා හෝ සිවිල් ආරක්ෂක බලකායේ කිසිදු නිලධාරියකු නොයොදවන බවත් මේ නිසා පොලීසියට දරාගත නොහැකි වගකීමක් පැටවී ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

රජයෙන් ගැසට් නිවේදනයට අනුව ලැබෙන රුපියල් ලක්ෂ පනහ පොසොන් මංගල්‍යය සඳහා ප්‍රමාණවත් නොවන බව පැවසූ උන්වහන්සේ එහි ශ්‍රම දායකත්වය සඳහා ආරක්ෂක හමුදාවල සහාය නොලැබීම විශාල ප්‍රශ්නයක් බවත් පොසොන් බැතිමතුන්ට යමක් සිදුවුවහොත් එහි වගකීම රජය බාරගත යුතු බවත් කීහ.

ඊට අමතරව මිහින්තලේ එක්තරා පුරාවිද්‍යා නිලධාරියකු කාණුවක් කැපීමට, වැසිකිළි වළක බටයක් දැමීමට, හට් එකක් ගැසීමට හෝ සුළු ඉදිකිරීමක් කිරීමටවත් ඉඩ නොදෙන බවත් සෑම කටයුත්තකටම පුරාවිද්‍යා පනත ඉදිරියට දමා බාධා පමුණුවන බවත් ඉන් බැතිමතුන් විශාල අපහසුවකට පත්වන බවත් නායක හිමියෝ වැඩිදුරටත් පැවසූහ. 

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මේ ගැන දේශයට අදහස් දක්වමින් පැවසුවේ මිහින්තලේ නායක හිමියන් චෝදනා එල්ල කරන පුරාවිද්‍යා නිලධාරියා යම් වැරැද්දක් හෝ බාධා කිරීමක් කර තිබෙනවා නම් උන්වහන්සේ ලිඛිතව එය දැනුම් දිය යුතු බවය. ඒ සමඟම ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂවරයාත් ලිඛිතව දැනුම් දිය යුතු බවය. කිසිවකු මෙතෙක් එසේ දන්වා නැති බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේ නිලධාරින්ගේ පෞද්ගලික දේශපාලනය ප්‍රශ්නයක් නොවන බවත් රාජකාරියේ නොයෙදෙන අවස්ථාවලදී දේශපාලන කටයුතුවල නිරතවීම ඔහුගේ මානව අයිතියක් බවත්ය. මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පුරාවිද්‍යා රක්ෂිත භූමියක් වන මිහින්තලේ යම්කිසි ඉදිකිරීමක් හෝ භුමියේ වෙනස් කිරීමක් කැණීමක් කරන්නේ නම් එයට අවසර ලබාගත යුතු බවයි. එසේ අවසර ඉල්ලන තැන නුසුදුසු නම් අදාළ කාර්යයට වඩාත් සුදුසු තැනක් ලබාදීමට නිලධාරින් කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.