2024 ජුලි 20 වන සෙනසුරාදා

රජයේ ගොවිපළ 31ක් ඈවරයි! කිරි මධ්‍යස්ථාන 97 කුත්

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 110

කුසුම්සිරි විජයවර්ධන I

ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් රට පුරා පිහිටි අක්කර 28802ක් විශාල ගොවිපොළ 31ක් සහ මිල්කෝ ආයතනයට අයත් කිරි නිෂ්පාදනාගාර 5ක්, කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන 97ක් පෞද්ගලික අංශයට ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවට මේ වනවිට අනුමැතිය හිමිවී තිබෙන බවත් මේවා විකිණීමේ මූලික පියවර ආණ්ඩුව විසින් ලබාගෙන ඇති බවත් ජාතික ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න දේශයට පැවසීය. ඒවා විකිණීමට තීරණය කර ඇත්තේ ඉන්දියාවේ පශු සම්පත් දෙපාර්තමේන්තුව, ගුජරාට්හි අමූල් සමාගම සහ ලංකාවේ පෞද්ගලික සමාගමක් ඒකාබද්ධව පිහිටුවා ඇති ඒකාබද්ධ ව්‍යාපාර සමාගම නම් ආයතනයටය. 

මෙසේ පවරාදෙන ගොවිපොළ අතරට මැල්සිරිපුර, රිදියගම, නිකවැරටිය, පොළොන්නරුව, කුණ්ඩසාලේ, දඹදෙණිය, නාරම්මල ඇතුළු ගොවිපොළ ඇතුළත් වන බව සඳහන් කළ නාමල් කරුණාරත්න, ඒවා පොල් වගාව, සත්ත්ව පාලනය සහ අල වගාව ද සිදුකරන තැන් බවත් විශාල නිෂ්පාදනයක් රටට දායාද කරන බවත් සඳහන් කර සිටියේය. 

දැනගැනීමට ලැබී ඇති අන්දමට මේවායේ ඉඩම් ලබාදීමට යන්නේ ඉතා අඩු ලංසුවලට බවත් එය අක්කරයකට වසරකට රු. 13000ක් වැනි මුදලක් බවත් ඔහු පැවසුවේය. නාමල් කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කළේ කැබිනට් පත්‍රිකාවට අනුව මේවා එම ආයතනවලට අනුබදු ලබාදිය හැකි බවත් රජයට ඇති පරම ස්වර්ණමය අයිතිය අහෝසිවීමේ කොන්දේසි සඳහන් වන නිසා මෙය සින්නක්කරව ඉඩම් ලබාදීමට සමාන බවත්ය. ඉඩම් ලබාදීමට මෙම සමාගම් තෝරාගෙන ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන ගැටලුවක් පවතින බව සඳහන් කළ ඔහු මේ නීතිවිරෝධී ගනුදෙනුවට විරුද්ධව මානව හිමිකම් කොමිසමට සහ අධිකරණයට පැමිණිලි කර ඇති බවත් පැවසුවේය.