2024 ජුලි 27 වන සෙනසුරාදා

ලබන වසරේ ලැබෙන ඉන්දීය ආධාර ඉහළට - ද හින්දු

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

2024 - 2025 මූල්‍ය වර්ෂය සඳහා වන ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන ආධාර ප්‍රමාණය ඉහළ දමා ඇතැයි “ද හින්දු” පුවත්පත වාර්තා කරයි. පසුගිය ජූලි 23 දින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් ඉදිරිපත් කළ අයවැයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 245ක් වන අතර එය පසුගිය වසරේ අයවැයෙන් වෙන්කළ මුදලට වඩා රුපියල් කෝටි 95ක වැඩිවීමකි. පසුගිය වසරේ මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන්වී තිබුණේ කෝටි 150කි. 

මෙය ඉන්දියානු රජය අසල්වැසි රටවල් සඳහා ලබා දෙන ආධාර ක්‍රමයේ එක් පියවරක් වන අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහාය වීම සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරමින් සිදු කරන්නකි.
අසල්වැසි රටවල් සඳහා ලබා දෙන ආධාර ක්‍රමයෙන් වැඩිම ආධාර ලබන භූතානයට මෙවර අයවැයෙන් රුපියල් කෝටි 332ක කපා හැරීමක් සිදුවී ඇති අතර ඇෆ්ගනිස්ථානය සඳහා පසුගිය වසරට සාපේක්ෂව සියයට 9 ක්, බංග්ලාදේශයට සියයට 7.6 ක සහ මියන්මාරයට සියයට 32 කපා හැරීමක් සිදුකර තිබේ.