2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

ගල් බෝතල් දාහකින් බසී?

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 501

යසවර්ධන රුද්රිගු I

නුදුරේදී අරක්කු මිල සෑහෙන මට්ටමකට පහළ දැමීමට කටයුතු සිදුවෙමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ අනුව මිලිලීටර් 750 අතිවිශේෂ (ගල්) අරක්කු බෝතලයක මිල රුපියල් 900 – 1000 අතර මුදලකින් ද මිලිලීටර් 175 ප්‍රමාණයේ කාලේ බෝතලයක මිල රුපියල් 200 කින් පමණ ද අඩුවනු ඇති බව දැනගන්නට තිබේ.

පසුගියදා මත්පැන් නිෂ්පාදන සමාගම් සමඟ පැවැති සාකච්ඡාවක දී සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ඉල්ලා සිට ඇත්තේ මේ වනවිට මත්පැන් සඳහා වැඩි වශයෙන් යොදා ගන්නා පරිපාක ස්ප්‍රිතුවල මිල අඩු වී ඇති බැවින් අරක්කු මිල අඩු කිරීමට කටයුතු කරන ලෙසටය. සමාගම් අවධාරණය කරනුයේ අරක්කු බෝතල්වල මිලෙන් සියයට 80 – 90 ක පමණ ප්‍රමාණයක් වැට් සහ විවිධ බදුවලින් සමන්විත වන නිසා බදු අඩු කළහොත් සෑහෙන ප්‍රමාණයකින් මිල අඩු කළ හැකි බවය.

අවසාන වශයෙන් 2023 ජූලි 1 වැනිදා රජය අතිවිශේෂ ගැසට් නිෂ්පාදනයකින් මද්‍යසාර සහ සිගරැට් මිල වැඩි කළ අතර එහිදී අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 1000 කින් ඉහළ නැංවිණි.

කෙසේ වුවද ඉදිරියේ දී අරක්කු සහ බියර් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනට රුපියල් 3200 කට අලෙවි වන අතිවිශේෂ අරක්කු බෝතලයක මිලෙන් රුපියල් 2966 ක් පමණ විවිධ බදු වන බව දේශය පුවත්පත මෙයට පෙර වාර්තා කර තිබුණි.