ගයාන් ගාල්ලගේ I
සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන අයගේ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගත් පක්ෂ සාමාජිකත්ව තහනම ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තහවුරු කිරීමත් සමඟ ඔවුන් දෙදෙනාගේ මන්ත්‍රී ධුර පසුගිය සිකුරාදා (09) අහෝසි විය.
ඒ අනුව හරීන් ප්‍රනාන්දුගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පසුව නම් කිරීමට තීන්දු කර ඇති අතර මනූෂ නානායක්කාරගේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා එම දිස්ත්‍රික්කයේ දෙවැනුවට වැඩිම මනාප ගත් බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත්වීමට නියමිතව සිටී.
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර අමාත්‍යවරුන් සමගි ජන බලවේගයෙන් ඉවත් වී ආණ්ඩුවට සහය දීම නිසා එම පක්ෂය ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණය නීත්‍යානුකූල බව පසුගිය සිකුරාදා (09) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබීය. විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්හ.
සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහිමි කරමින් එම පක්ෂය ගත් තීන්දුව නීතියට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ගොනු කළ පෙත්සම නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේය. හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාත්, මනූෂ නානායක්කාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතාත් පෙනී සිටි අතර, සමගි ජන බලවේගයේ මහ ලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, විරාන් කොරයා, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්වරු ද හිජාස් හිස්බුල්ලා සහ සම්පත් විජේවර්ධන යන නීතිඥවරු ද පෙනී සිටියහ.