2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

නව ජනාධිපතිට විකල්ප තුනක්!

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01 425

දේශපාලන වාර්තාකරු I

ජනාධිපතිවරණයෙන් පසු අභිනවයෙන් පත්වන ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව විකල්ප තුනක් ක්‍රියාත්මක කළ හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෝ පවසති. ඉන් පළමු විකල්පය වන්නේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කොට අමාත්‍ය මණ්ඩලය විසුරුවා වෙනත් අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කොට ආණ්ඩුව පවත්වාගෙන යාමය. එහෙත් අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එතෙක් සිටිනා අමාත්‍ය මණ්ඩලයම භාරකාර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලෙස මහ මැතිවරණය තෙක් ක්‍රියාත්මක විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන්ය. නව අග්‍රාමාත්‍යවරයකු පත් කරන්නේ නම් මැතිසබයේ උපරිම විශ්වාසය දිනාගත් තැනැත්තා එම තනතුරට පත් කළ යුතුය. එසේම අමාත්‍යවරුන්ගේ විෂය කාර්යය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමට ද ජනාධිපතිවරයාට බලය හිමිය.

නව ජනාධිපතිවරයාට ඇති දෙවැනි විකල්පය වන්නේ තමන් පත්වූ පසුව කෙළින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූ දින සිට අවුරුදු දෙකකුත් මාස හයකට නොඅඩු කාලසීමාවක් ඉකුත් වූ පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමිවෙයි. ඒ අනුව වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ද නව ජනාධිපතිවරයාට නීතිමය හැකියාව ඇත. එවිට දැනට පවත්නා ආණ්ඩුවේ අගමැතිට සහ අමාත්‍ය මණ්ඩලයට භාරකාර ආණ්ඩුව ලෙස ක්‍රියා කිරීමට ව්‍යවස්ථානුකූලව නීතිමය බලය ඇත.

අභිනව ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව හිමිවන තුන්වැනි විකල්පය වන්නේ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමය. එලෙස වාර අවසන් කළ ද පවත්නා අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථාව අනුව ඉවත් නොකළොත් ක්‍රියාත්මක වෙයි. එලෙස වාර අවසාන කර ඇති අවස්ථාවේ අවශ්‍ය නම් ව්‍යවස්ථාවේ විධි විධානවලට යටත්ව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට ද ජනාධිපතිවරයාට බලය හිමිය.