2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්?

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 174

දේශපාලන වාර්තාකරු I

ජනාධිපතිවරණය හමාර වූ වහාම ලබන 21 දා මධ්‍යම රාත්‍රියේ වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇතැයි ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි. මෙබඳු සිදුවීමක් වර්ෂ 1988 ජනාධිපතිවරණය අවසානයේ දීද සිදුවිය. ඒ අනුව 1988-12-19 දින පැවැති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී නව ජනාධිපතිවරයා දිවුරුම් දීමට පෙර 1988-12-20 දින එවකට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර 1989 පෙබරවාරි මස 15 දාට මහ මැතිවරණය පැවැත්විය යුතු බවට නියම කළේය.

එලෙස මෙවර ද ජනාධිපතිවරයාට පැවරී ඇති ව්‍යවස්ථානුකූල බලතල අනුව මැතිසබය විසුරුවා හැරීමට ඉඩ ඇතැයි සඳහන් වෙයි. එවිට පවත්නා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය භාරකාර ආණ්ඩුව ලෙස ක්‍රියා කළ යුතුය. එහෙත් අභිනවයෙන් පත්වන ජනාධිපතිවරයාට හිමිවන බලතල අනුව අග්‍රාමාත්‍යවරයා ඉවත් කළහොත් සාමාන්‍යයෙන් සිදුවන පරිදි අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වගන්තිය අනුව යම් හෙයකින් නව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කළහොත් සෙසු අමාත්‍යවරුන් අතරින් අභිමත පුද්ගලයකු මහ මැතිවරණය හමාර වන තෙක් අගමැති ලෙස පත් කළ හැකි බවද සඳහන්ය. එසේම නව ජනාධිපතිවරයාට අවශ්‍ය නම් සියලු අමාත්‍යවරුන්ගේ විෂයන් තමන්ටම පවරා ගැනීමට හෝ අමාත්‍යවරුන්ගේ විෂයන් වෙනස් කිරීමට ව්‍යවස්ථාව අනුව බලතල හිමිය.