2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

නිමල් සිරිපාල ඉවතට! විජිත හේරත් ඇතුළට!

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 319

දේශපාලන වාර්තාකරු I

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉවත් කර ඇත. ඒ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිඛිතව දැනුම් දුන් බවද කතානායකවරයා දේශයට පැවසීය.

ඉවත් කරන ලද නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙනුවට අමාත්‍ය විජිත හේරත් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා සභාවේ නියෝජිතයා ලෙස පත් කර තිබේ. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද ඊළඟ පාර්ලිමේන්තුව රැස්වන තෙක් කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව ක්‍රියාත්මක විය යුතුය.

පවත්නා තත්ත්වය අනුව මේ වනවිට ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස තවදුරටත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කරයි. එහි සෙසු සාමාජිකයන් වන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු මන්ත්‍රී කබීර් හෂීම්, හිටපු මන්ත්‍රී සාගර කාරියවසම් හා සිවිල් සංවිධාන නියෝජිතයන් වනආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මීන්ය.