2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද 07 ක්

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 318

පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මේ වනවිට නීත්‍යානුකූලව විශේෂ වරප්‍රසාද 7 ක් හිමිවන බව දේශයට වාර්තා වෙයි.

ගිනි අවි පුහුණුව, පොලිස් ආරක්ෂාව සහ නිවසේ ආලෝකකරණය සඳහා ආලෝකය වැඩි විදුලි පහන් 4 ක් මන්ත්‍රීවරුන්ට හිමිය. ඊට අමතරව වැටුප් සහ දීමනා ගණනාවක්ද ලැබේ. මන්ත්‍රී වැටුප රු. 54285/- කි. එක් පාර්ලිමේන්තු දිනක රැස්වීම් සඳහා රු. 2500/- දීමනාවක්ද  හිමිය.

මන්ත්‍රීවරුන්ට හිමිවන ඊළඟ වරප්‍රසාදය වන්නේ රු. 2000/- ක මාසික කුලියකට මන්ත්‍රී නිවාසයක් ලැබීමයි.

ඊට අමතරව මන්ත්‍රීවරයකුට කාර්යාලයක් පවත්වාගෙන යාමට මසකට රුපියල් ලක්ෂයක මුදලක් ගෙවනු ලැබේ. මේ හැර රුපියල් දස ලක්ෂයක් වටිනා රක්ෂණ ආවරණයක් මන්ත්‍රීවරයකුට හිමි වෙයි. මන්ත්‍රීවරයකුගේ ජීවිත හානියකදී රුපියල් කෝටියක වන්දියක් පිරිනැමේ. මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය අසනීපවලට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර කෙරේ.

මේ හැර මන්ත්‍රීන්ට තීරු බදු සහන සහිතව වාහන බලපත්‍රයක් සහ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක්ද ලැබේ. මෙයට අමතර මැති සබයේදී මන්ත්‍රීවරයකු පවසන කරුණක් සම්බන්ධයෙන් නඩු පැවරිය නොහැක. ඒ ගැන ප්‍රශ්න කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට හැකියාවක්ද නොමැති බව වරප්‍රසාද පනතේ සඳහන්ය.

මේ ආදී ප්‍රධාන වරප්‍රසාද 7 ක් සහ අතුරු වරප්‍රසාද ගණනාවක් මන්ත්‍රීවරයකුට හිමිවන බව ඊට අදාළ විධි විධානවල සඳහන්ය.