යසවර්ධන රුද්‍රිගු I
මෙතෙක් කල් වී අලෙවි මණ්ඩලයට සහල් මිලට බලපෑම් කිරීමට නොහැකි වී ඇති නිසා රජය තනිවම වී මිලට ගැනීමට නොගොස් පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව වී මිලට ගැනීමේ වැඩසටහනකට යාමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීම් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී ඩබ්ලිව්.එච්. දුමින්ද ප්‍රියදර්ශන පවසයි.
දැනටමත් පෞද්ගලික වී මෝල් හිමියන් රටේ අවශ්‍යතාවයෙන් සියයට 30 ක් පමණ සපයන අතර ඉතිරි සියයට 70 ක සහල් ප්‍රමාණය මෙරට අසංවිධිත සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ සපයති. එසේ වුවද ඔවුන් අතර ඍජුවම ගොවියන්ගෙන් වී ලබාගැනීමේ වැඩපිළිවෙළක් නොමැති බැවින් ඔවුන් වී ලබාගන්නේ විවෘත වෙළෙඳපොළෙනි. ඒ නිසා ඒ අයට සහල් මිල පිළිබඳ බලපෑමක් කළ නොහැකිය.
රටේ සමස්ත සහල් අවශ්‍යතාවයෙන් සියයට 30 ක් පමණ පාරිභෝජනය කරන්නේ බස්නාහිර පළාත වන අතර, මෙම පළාත සහල් නිෂ්පාදන පළාතක් නොවන නිසා වෙනත් පළාත්වල නිෂ්පාදිත සහල් මේ පළාතේ අලෙවි කෙරේ. බොහෝ විට රටේ සහල් මිල තීරණය වීමට බස්නාහිර පළාතේ වෙළෙඳපොළ බලපායි.