දේශපාලන වාර්තාකරු I
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ නීති නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී සාක්ෂි සහිත නඩු සියල්ල කඩිනමින් පවරා හමාර කිරීමට එකඟත්වයකට එළැඹ තිබේ.
ඉතා සුහද ආකාරයට පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ජනතා අපේක්ෂා ඉටු කරන බවට ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව බැඳී සිටින බවයි. එබැවින් වැරදි කළ යම් තැනැත්තකු වේ නම් ඔහුගේ හෝ ඇයගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මෙහිදී නඩු පමාවට බලපාන ප්‍රායෝගික කරුණු ගැන ද නඩු ගොනු අසම්පූර්ණ වන්නේ ඇයිද යන කරුණ සම්බන්ධයෙන්ද නීතිපති දෙපාර්තමේන්තු නිලධරයන් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කර තිබේ.
මෙම සාකච්ඡාව සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන රොහාන්ත අබේසූරිය, දිලිප පීරිස්, ජානක බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු නීතිපතිවරයා සමඟ එක්ව සිටියහ.