කුසුම්සිරි විජයවර්ධන I
ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්නෙන් ගෙඩි මිලියන 100 ක් රිළවුන් විසින් කා දමා ඇති බව සමීක්ෂණ වාර්තාවලින් හෙළිවී තිබෙන අතර, ඊට පිළියම් වශයෙන් පියවර ගැනීමට රට පුරා පැතිරී සිටින රිළවුන්ගේ සංඛ්‍යාව ගැන දත්ත ලබාගැනීමේ අරමුණින් රිළා සංගණනයක් පැවැත්වීමට තීරණය කළ බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි දේශයට පැවසුවේය.
2024 වර්ෂයේ අපේක්ෂිත පොල් අස්වැන්න ගෙඩි මිලියන 300 ක් බව පැවසූ සභාපතිවරයා ඉන් ගෙඩි මිලියන 270 ක් පමණ විවිධ පළිබෝධයන්ගේ බලපෑම නිසා විනාශ වී ගොස් තිබෙන බව කීවේය. සභාපතිවරයා පැවසුවේ ඒ සඳහා ප්‍රධාන සාධකයක් ලෙස රිළවුන්ද ඊට අමතරව දඬුලේනුන් වැනි සතුන්ද සිටින අතර පසුගිය කාලයේ පොල් වගාවට පොහොර නොදැමීම, කෘමි උවදුරු සහ පොල් ඉඩම් කට්ටි කර විකිණීම වැනි කරුණු ද තිබෙන බවයි.
රිළවුන්ගේ විනාශය සහ උන්ගේ වගා හානිය වැළැක්වීමට ගත යුතු පියවර ගැන සොයා බැලීමට පත් කළ කමිටුවේ තීරණයක් ලෙස රට පුරා රිළවුන්ගේ සංඛ්‍යාව සොයා ගැනීම සංගණනය පැවැත්වීමේ අරමුණ වූ බව පැවසූ සභාපතිවරයා වැඩිපුරම රිළවුන් සිටින දිස්ත්‍රික්ක සහ ඒ නිසා වගාවලට සිදුව ඇති හානිය සොයා ගැනීමට මේ නිසා හැකියාව ලැබෙන බව වැඩිදුරටත් කීවේය. නුදුරු දිනකදී පැවැත්වෙන මේ සංගණනය සඳහා වැවිලි කර්මාන්ත, වනජීවී, පරිසර හා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු බහුවිධ රාජ්‍ය ආයතන එක්ව කටයුතු කරන බවද සභාපතිවරයා පැවසුවේය.