ගයාන් ගාල්ලගේ I
2024 වසරේදී ඇමෙරිකාවට භාණ්ඩ අපනයනයෙන් මෙරට ලද ආදායම ඩොලර් බිලියන 3 කට අධික වන අතර මේ වසරේ ජනවාරි මාසයේ පමණක් භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 350 කට වැඩි ආදායමක් ලබාගෙන ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එලෙස අන්‍යෝන්‍ය බදු පැනවූ රටවල් 180ක ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඉන් රටවල් 11 ක් 40% - 50% ත් අතර වැඩිම ආනයන බදු ලබාගන්නා රටවල් වේ. එකී රටවල් 11 ට ශ්‍රී ලංකාව ද අයත් වන අතර විශේෂත්වය වන්නේ එම රටවල් 11ම ආර්ථික වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වීමය. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එකී රටවලට ඇමෙරිකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා අය කරන බදු මුදල 80% කට වඩා වැඩිවීමය. ශ්‍රී ලංකාව ඇමෙරිකානු ආනයන භාණ්ඩ සඳහා අය කරනු ලබන බද්ද 88% කි. කෙසේ වෙතත් ප්‍රබල රටවල් සඳහා පනවා ඇති බදු ප්‍රමාණය ඉතා අඩු ප්‍රතිශතයකි.
එසේම අසල්වැසි ඉන්දියාවෙන් 26% ක්, බංග්ලාදේශයෙන් 37% ක්, පාකිස්තානයෙන් 29% ක්, නේපාලයෙන් 10% ක්, මාලදිවයිනෙන් 10% ක්, ඇෆ්ගනිස්ථානයෙන් 10% ක් සහ භූතානයෙන් 10% වශයෙන් බදු අය කර ගැනීමට තීරණය කර ඇත.
විශේෂයෙන් බලය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ මහා ගැටුමක සිටින චීනය සඳහා පනවා ඇති බද්ද 34% කි. එසේම පසුගිය කාලයේ ඇමෙරිකාවේ කප්පාදුවට ලක්වූ යුක්‍රේනය සඳහා 10% ක බද්දක් පැනවීමට තීරණය කර තිබීමද විශේෂත්වයකි.
බලවත් රාජ්‍යය වන එංගලන්තයෙන් 10% ක්, ස්විට්සර්ලන්තයෙන් 31% ක්, ඕස්ට්‍රේලියාවෙන් 10% ක්, සිංගප්පූරුවෙන් 10% වශයෙන් බදු අය කර ගැනීම සිදුකර ඇත. මෙහි විශේෂත්වය වන්නේ තම මිත්‍රශීලී රට වන ඊශ්‍රාලයෙන් 17% ක බදු පැනවීමක්ද සිදුකර තිබීමය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට පැනවූ 44% ක තීරු බද්ද සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇති අතර එකී කමිටුව සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්, මහ බැංකු අධිපති, ආයෝජන මණ්ඩලයේ සභාපති, විදේශ කටයුතු අමාත්‍යංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු, අෂ්රොෆ් ඕමාර්, ෂෙරාඩ් අම්ලීන් සහ ෆයිස් ජැෆර්ජී යන අය ඒ සඳහා පත් කර තිබේ.