2019 ජනවාරි 26 වන සෙනසුරාදා

ගුණමකු ඇසුරට වඩා හුදකලාව හොඳය

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 106

කාශ්‍යප මහ රහතන් වහන්සේ රජගහනුවර ගෝචර ගම්මානයේ පන්සලක වැඩ විසුවා. උන්වහන්සේට උවටැන් කළේ කුඩා සාමනේර හිමිවරු දෙදෙනෙක්. මේ දෙන්නාගෙන් එක් හිමිනමක් රහතන්වහන්සේට කීකරුව ගුණවත්ව උපකාර උවටැන් කළා. අනෙක් හිමිනම එසේ නොවේ. ගුණවත් නෑ දුශ්චරිතයි. වංකයි.

ගුණවත් හිමියෝ අලුයම නැගිට දැහැටි දිය රහතන්වහන්සේට පිළියෙල කර තබනවා. මිදුල අමදිනවා. සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරනවා.

ගුණමකු හිමියෝ රහතන්වහන්සේ අවදි වී එළියට පහළියට එනකොට මුස්නයක් අරන් අතුගාපු තැන් අතුගානවා. එයා තමයි හැමතැනම අතුගෑවේ පෙන්නන්න. එසේම ස්වාමීනි දැහැටි දිය පිළියෙල කළා පිළිගන්නත් කියනවා.
මේ වංචාව අවබෝධ කරගත් ගුණවත් හිමියෝ ඔබට හොඳ පාඩමක් උගන්වන්නම් යැයි සිතුවා. ගුණමකු හිමියන්ට නොපෙනෙන්න රහතන්වහන්සේට දිය නෑමට වතුර උණු කළා. එය නාන කොටුවේ පිටතින් සැඟවුවා. තවත් වතුර ලිප මත තැබුවා. එය උණු වෙවී තිබුණා. රහතන් වහන්සේ දිය නෑමට සැරසී සිටින විට ගුණමකු හිමියන් “ස්වාමීනී! දිය උණුකර ඇත්තේ. නාන කොටුවට වඩින්න” කිව්වා.

රහතන් වහන්සේ කොටුවට වැඩියා. ගුණමකු හිමි ලිප මත තුබූ දිය බඳුන ගෙන ආවා. එහි දිය නෑ. ලිප මත සෑහෙන වෙලාවක් තිබී හිඳිලා. තට තට ගා ශබ්දය පිට වුණා. රහතන්වහන්සේට කාරණය වැටහුණා.

මේ සිද්ධිය දෙස බලා උන් ගුණවත් භික්ෂුව සඟවා තිබූ දිය බඳුන ගෙනත් රහතන්වහන්සෙට පිළිගැන්නුවා. රහතන්වහන්සේ දිය නෑවා. ගුණමකු හිමියන්ට “ඇවැත්නි! ඔබ මේ ශාසනයේ මහණ දම් පුරන්නෙක්. අනුන් කළ දෙයක් තමන් කළ දෙයක් ලෙස පෙන්වීම වටින්නේ නැත. එසේ බොරු කිරීම වාග් දුශ්චරිතයක්. ඊට මුසාවාදයේම අකුසල පල දෙනවා.” යැයි නැගුවා.

ඉන් ගුණමකු හිමි කාශ්‍යප මහරහතන්වහන්සේ සමඟ කෝප වුණා. පසු දින රහතන්වහන්සේ පිඬු සිඟා වඩින විට ඒ හිමියෝ වැඩියේ නෑ. ගුණවත් හිමියෝ රහතන්වහන්සේ පසුපස වැඩියා.

රහතන්වහන්සේ පිඬු සිඟා ගොස් ටික වේලාවකට පසු මේ ගුණමකු භික්ෂුව පාත්‍රය ගෙන පිටත් වුණා. ඒ මහ රහතන්වහන්සේට ගෞරවයෙන් සලකන ගෙදරකට. ඒ ගෙහිමියෝ හොඳ බෞද්ධයෝ. මහ රහතන්වහන්සේට ඉතා ඉහළින් සලකනවා. රහතන්වහන්සේ ඒ බව දන්නවා. එහෙත් ඒ අයට කරදර කරන්න කැමති නැති නිසා එනිවසට වැඩිය පිඬු සිඟා වැඩියේ නෑ. මේ ගුණමකු හිමියෝ ඒ ගෙට වැඩිය විට ගෙහිමියෝ “ස්වාමීනි කෝ මහ රහතන්වහන්සේ? ඇයි රහතන්වහන්සේ වැඩියෙ නැත්තේ?” කියා අසනවා.

“රහතන්වහන්සේ ගිලන් වෙලා විහාරයේ වැඩ වසනවා. වඩින්න අපහසුයි.”

“ස්වාමීනි! රහතන්වහන්සේට අවශ්‍ය කුමක්ද කියන්න. අප පිළියෙල කර දෙන්නම්” කිව්වා.

“උන්වහන්සේට මිහිරි දාන වේලක් සකස් කරවාගෙන යන්නයි ආවේ.” ඒ භික්ෂුව කිව්වා.

“හොඳමයි ස්වාමීනි! අපි ඉක්මනින් සකස් කර දෙන්නම්. ඓතෙක් ගිලන්පස බඳුනක් ගෙන වැඩ ඉන්න.” කී ගෙහිමියෝ කඩිනමින් ප්‍රණීත දාන වේලක් සකස් කර දුන්නා. ඒ හිමියෝ එය රැගෙන විහාරයට ආවා. වැළඳුවා. කරබාගෙන හිටියා. රහතන්වහන්සේත් පිඬු සිඟාවිත් වළඳා විවේකීව පසුවුණා.

දෙවැනි දවසේ කාශ්‍යප මහරහතන්වහන්සේ අර යහපත් කුල ගෙට පිඬු සිඟා වැඩියා. රහතන් වහන්සේ දුටු ගෙහිමියෝ පුදුමයෙන් වගේ බලා හිටියා. 

“පින්වතුනි! ඇයි මේ පුදුම වෙලා?” රහතන්වහන්සේ විමසුවා.

“ඊයේ ඔබවහන්සේගේ ගෝල හිමියන් මෙහි වැඩියා. ඔබවහන්සේ ගිලන්ව විහාරයේ කියා දානය ගෙන ගියා. එක දවසින් සුවය ලැබ ඇති නිසයි අපි මේ පුදුම වුණේ.”

කාශ්‍යප මහරහතන්වහන්සේ නිහඬ වුණා. ඒ ගැන නොසිතූ ගෙහිමියෝ උන්වහන්සේට පිඬු පිදුවා. රහතන්වහන්සේ විහාරයට වැඩියා. ගුණමකු භික්ෂුවට කුලගෙට ගොස් කළ වංචාව ගැන දැඩි ලෙස දොස් නැගුවා.

ඉන් ඒ  භික්ෂුව මහරහතන්වහන්සේ කෙරේ වෛර බැන්දා. පළිගන්න හිතුවා.

පසුදිනයේත් රහතන්වහන්සේ පිඬු සිඟා යෑමට පිටත් වුණා. ගුණවත් සාමනේර හිමියොත් පස්සෙන් වැඩියා. ගුණමකු භික්ෂුව වැඩියේ නෑ. රහතන්වහන්සේගෙන් පළිගන්න හැටි හිත හිතා උන්නා. උන්වහන්සේට අදහසක් ආවා. සිවුරු හැරියා. පන්සලට ගිනි තැබුවා. යන්න ගියා. ඔහුට වැඩි දුරක් යන්න හම්බ වුණේ නෑ. පව පල දුන්නා. හදිසියේ රෝගාතුර වුණා. මිය ගියා. රහතන්වහන්සේ විහාරයට වැඩියා. එය ගිනි අරන්. අසල්වැසියන් ගිනි නිවනවා. රහතන්වහන්සේ බලා උන්නා. “ඔබවහන්සේ කලකිරෙන්න එපා. අපි ඉක්මනින් තිබුණු ලෙසටම විහාරය හදා දෙනවා” කිව්වා. ඔවුහු එලෙසම කළා. රහතන් වහන්සේ සහ ගුණවත් භික්ෂුව එහි වැඩ විසුවා. 

පසු දිනක මේ ගුණවත් භික්ෂුව බුදුන් වඳින්න වැඩියා. “බුදුන් වහන්සේ ඔබ කොහේද?” ගුරු හිමියෝ කවුරුදැයි විමසුවා.

“ස්වාමීනි! මම රජගහනුවර ගමක.” ගුරු හිමියෝ කාශ්‍යප මහරහතන් වහන්සේ කිව්වා.

බුදුන්වහන්සේ ආගිය තොරතුරු විමසුවා.

එවිට මේ ගුණවත් හිමියෝ ගුණමකු භික්ෂුව විහාරයට කළ විනාශය පැවසුවා.

“ඒ තුච්ඡ භික්ෂුව සමඟ සිටිනවට වඩා හුදකලාව ඒ රහතන්වහන්සේ සමඟ සිටීම හොඳයි” පවසමින් මේ කතාව වදාළා.
“එක් කුරුල්ලෙක් අව්වෙන් වැස්සෙන් බේරෙන්න කැදැල්ලක් තනාගෙන උන්නා. වැසි කාලය ආවා. කුරුල්ලා නොතෙමී කැදැල්ලේ සිටියා. වඳුරෙක් තෙමී තෙමී ගැහි ගැහී කැදැල්ල ළඟට ආවා. “බලන්න ඔබ නොතෙමී ඉන්නවා මම තෙමෙනවා.” 

“ඇයි ඉතින් ඔබත් වාසයට ගෙයක් හදා නොගන්නේ?” කුරුල්ලා ඇසුවා.

“ඒක තමයි මිතුර. මගේ බොහෝ අවයව මිනිසුන්ගේ වගෙයි. එහෙත් ඔවුනට ඇති බුද්ධිය මට නෑනේ. ඉතින් ගෙවල් හදන්න බෑ.” වඳුරා කිව්වා. 

“ඔබ එකඟ කොට නොපිහිටි සිත් ඇත්තෙක්. එබැවින් අනුවණයි. මිත්‍රද්‍රෝහියි. දුශ්චරිතයට බරයි. ඒවා අතහරින්න. ගුණවත් වන්න. එතකොට බුද්ධිය පහළ වෙයි.” කුරුල්ලා කිව්වා.

“තොප නොතෙමී ඉඳන් මට අවවාද දෙන්න එනවා. තොපත් තෙමිය මම වගේ” කියා කුරුලු කැදැල්ල කඩා දැම්මා. කුරුල්ලා ඉගිලී නොතෙමෙන තැනකට ගියා. ඒ වඳුරා තමයි ඔය භික්ෂුව” බුදු හිමියෝ පහදා දුන්නා.

කුටිදූසක ජාතකය ඇසුරින් 
බී. පී. කේ. තිලක 

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00