භික්ෂුවක් ස්ත්‍රියක් පිළිබඳව සිත් ඇතිවී ඒ ගැන කල්පනා කරමින් කල්ගත කළා. අනෙක් හිමිවරු ඒ ගැන බුදුන් වහන්සේට දැන්වූවා. බුදුන් වහන්සේ එම භික්ෂුව කැඳෙව්වා. ඔබ කලකිරීමකින් පසුවෙන්නේ දැයි විමසා සිටියා.
ස්වාමිනී, එසේය.
ස්ත්‍රියක් පිළිබඳව නේද?
එසේය ස්වාමිනී!
මහණ, මේ ලෝකයේ ස්ත්‍රීහු ලාමකයෝය. අසත්පුරුෂයෝය. එබඳු ලාමක ස්ත්‍රියක් නිසා උකටලි වන්නේ ඇයිදැයි අසා එය පහදා දීමට මේ කතාව වදාළා.
තක්සලාවේ එදා යහපත් දිසාපාමොක් ඇදුරුතුමෙක් උන්නා. එතුමා තම මවට උවටැන් කරමින් කාලය ගෙව්වා.
මෙකල බරණැස බොහෝ සම්පත් ඇති බමුණු පවුලක් හිටියා. ඔවුහු බමුණු ආගම දහම පිළිබඳ භක්තිවන්ත වුණා. ඒ පවුලේ කුමාරයෙක් උන්නා. ඒ කුමරුට සොළොස් විය පිරුණා. මව්පියෝ ඔහු කැඳවා පුත, ඔබ උපන් දවසේ අපි ගිනි දෙවියන්ට ඔබ පූජාකොට ගිනි දැල්වූවා. ඉතින් ඔබ මින් ඉදිරියට ගිනි දෙවියන් පුදමින් බඹලොව යන්න හිතනවද? නැත්නම් තක්සලාවට ගොස් ශිල්ප හදාරනවාද? ඇසුවා.
මම තක්සලා ගොස් ශිල්ප හදාරන්න කැමැතියි. ඔහු කිව්වා.
ඒ බමුණු යුවළ මසුරන් දහසක් දී පුතා තක්සලාවට යැව්වා.
බමුණු කුමරා දිසාපාමොක් ඇදුරිඳු හමුවට ගියා.
මසුරන් දහස දී ශිල්ප හැදෑරීමට ආ බව කිව්වා. ඒ ඇදුරුතුමා ඔහු බාරගත්තා. බමුණු කුමරුත් සොඳින් ශිල්ප හැදෑරුවා. ශිල්පායතනයෙන් පිටවී යෑමේ කාලය උදා වුණා. මේ කුමරුත් ගම රට බලා ආවා. මව්පියෝ ඔහු ආදරයෙන් පිළිගත්තා.
ටික දවසක් ගෙවුණා. මව දිනක් පුතුගෙන් ඇසුවා පුත, ඔබ සියලු ශිල්ප ඉගෙනගෙනද ආවේ?
ඔව් අම්මේ.
ඔබ එහිදී අසාත මන්තරය ඉගෙන ගත්තාද?
නෑ. එහෙම දෙයක් ඇදුරිඳු කියා දුන්නේ නෑ.
පුත, එය ඔබ වැනියන්ට අවශ්‍ය පාඩමක්නේ. ඒ නිසා යළිත් තක්සලා යන්න. අසාත මන්තරය අසා දැනගෙන එන්න කියා මසුරන් දී පිටත් කළා.
බමුණු තරුණයා ආපසු තක්සලාවට ගියා. උගන්වපු ඇදුරිඳු නෑ. අලුත් කෙනෙක් ඉන්නේ. ඔහු එතුමා ගැන විමසුවා. එතකොට දැනගත්තා එතුමාගේ මව මහලු නිසා ඇස් පෙනීම දුර්වල වී ගිහින් නිතර අපවිත්‍ර කරගෙන තියෙනවා. එය පවිත්‍ර කරන්න සිදුවෙලා තියෙන්නේ ඇදුරිඳුට. එය දුටුව මිනිස්සු ඇදුරිඳු දකින විට පිළිකුල් කර තියෙනවා. ඒ ගැන කලකිරුණු එතුමා මවත් රැගෙන වනගත වෙලා කියා.
මේ බමුණු තරුණයාත් ඇදුරිඳු සොයා වනගත වුණා. මවට උපස්ථාන කරමින් උන් ඇදුරිඳු හමුවුණා. ඇයි දරුව ඔබ මා සොයා මේ වනයට ආවේ. එතුමා ඇසුවා.
මම ශිල්පයක් ඉගෙන ගන්න.
මම දත් ශිල්ප සියල්ල ඔබට දුන්නා. තව මොනවද තියෙන්නේ?
අසාත මන්තරය මට කියා දුන්නේ නෑ නේද?
ඇදුරිඳු කල්පනා කළා. මොහොතක් නිහඬව සිට ඔබට කවුද අසාත මන්තරය ගැන කිව්වේ? ඇසුවා.
මගේ මව එය ඔබතුමා හමුවී ඉගෙනගෙන එන්න කියා මා එව්වා.
ඇදුරිඳු යළිත් කල්පනා කරන්න වුණා. අසාත මන්තරය කියා දෙයක් මෙලොව නෑ. මව ඔබ මා වෙත එවා ඇත්තේ ස්ත්‍රීන්ගේ දොස් පුතුට දැන ඉගෙනගන්න වෙන්න ඇති එතුමාට හිතුණා. හොඳයි දරුව, ඔබට මම අසාත මන්තරය කියා දෙන්නම්. හැබැයි ඔබ අද සිට මා මේ කරන කාර්යය කරන්න ඕනෑ.
ඒ කුමක්ද ඇදුරිඳුනි!
මගේ මව නාවන්න ඕනෑ. කවන්න පොවන්න ඕනෑ. අතපය නිතර පිරිමදින්න ඕනෑ. ඇගේ රුව ගැන නිතර වර්ණනා කරන්න ඕනෑ. එසේම ඔබට මගේ මව යමක් කියයිද එය ලජ්ජා නැතිව මට කියන්න ඕනෑ.
ඔහු යහපති ඇදුරුතුමනි කිව්වා. එතැන් පටන් මහලු මවට උවටැන් කළා. අතපය පිරිමදිමින් මේවා ඒ දවස්වල වගේම තාමත් මටසිලුටුයි කිව්වා. රූපය ගැනත් වර්ණනා කළා.
ඉන් මේ මහලු කත ප්‍රබෝධමත් වුණා. ඔහුට බෙහෙවින් ඇළුම් කළා. තරුණයාද නොපමාව ඇගේ කටයුතු ඉටුකළා.
ටික දිනක් ගතවුණා. මේ තරුණයාගේ වර්ණනාව නිසා ඇගේ සිතේ කාමාශාව ඇතිවුණා. මහලු කත දිනක් තරුණයාගෙන් ඇසුවා ඔබ මා සමඟ අභිරමණයට කැමැති නැද්ද කියා.
මම කැමැතියි. එසේ හැසිරී මා කොහොමද ඇදුරිඳුගේ මුහුණ බලන්නේ. අනෙක එය දැනගත්තොත් එතුමාගේ සිත රිදෙයි. මා එළවා ගනියි.
එසේ නම් ඔබ කළ යුත්තේ මගේ පුතා මරණ එක.
අපෝ එය නම් කෙසේවත් කරන්න බෑ.
ඔබ මා හැර නොයනවා නම් මම පුතා මරනවා.
ඊට තරුණයා උත්තරයක් දුන්නේ නෑ. ඇදුරිඳු ළඟට ගොස් මේ විස්තරය කිව්වා. ඇදුරිඳු මවගේ ග්‍රහ බලය බැලුවා. ඇය එදින කෙසේ හෝ මියයන බව දුටුවා. එතුමා දිඹුල් කොටයක් ගෙන මිනිස් රැවක් ලෙස කැපුවා. එය ගෙනවිත් නිදන යහනේ තැබුවා. රෙද්දකින් වැසුවා. පොරවක් බමුණු තරුණයාගේ අතට දුන්නා. දරුව, ඔබ මගේ මව වෙත යන්න. ගිහින් කියන්න මම හොඳටම නිදි, යහන ළඟට ගොස් පොරවෙන් කොටන්න කියා. ඔහු ගිහින් මහලු කතට කිව්වා.
මට පුතුගේ යහන ළඟට යන්න පේන්නේ නෑ. ඈ කිව්වා.
එවිට යහන ළඟට යන්න ඔහු කනවැලක් බැඳ දුන්නා. මේ කාමාශාවෙන් පෙළුණු මැහැල්ලිය කනවැල අල්ලාගෙන ගොස් පුතා යැයි සිතා දිඹුල් කොටයට කෙටුවා.
ඈතකට වී බලා සිටි ඇදුරිඳු, අම්මේ කුමක්ද කළේ යැයි ඇසුවා. ඉන් තැතිගත් ඇය ළය පැලී මියගියා. ඉන්පසු මේ දෙන්නා එක්වී ඇගේ ආදාහනය සිදුකළා.
ඇදුරිඳු බමුණු තරුණයා අමතා දරුව, ඔබේ මව ඔබ මා වෙත එවූයේ ස්ත්‍රීන්ගේ දොස් ගැන ඉගෙන ගන්න. ඔබ ඇස් පනාපිට එය පසක් කරගත්තා. දරුව, ස්ත්‍රීන් සැප දුරුකොට දුක එළවයි. එබැවින් අසාතයෝ වේ. අසත්පුරුෂ වේ කිව්වා. ඔබ දැන් මෙහෙන් යන්න. ගිහින් මවට අසාත මන්තරය ඉගෙනගත් බව කියන්න. මම තපස් රැක්මට යනවා. ඉතින් ඔබ යන්න.
බමුණු තරුණයා ගමට ආවා. ඔබ අසාත මන්තරය ඉගෙන ගත්තද? මව ඇසුවා.
ඔව්.
ඒ කුමක්ද?
ස්ත්‍රීන් දුකට වස්තු වෙයි. එබැවින් අසාත නම් වෙයි. ඒ නිසා මට ගිහි සැප එපා. මම තපසට යනවා කියා මවගෙන් අවසර ගෙන වනගත වුණ බව බුදුන් වදාළා. එම භික්ෂුව ඉන් සිත පහන් කර ගත්තා.
(අසාත මන්ත ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක