2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

ගැහැනියක් නිසා කලකිරුණු සිසුවෙක්

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 102

සැවැත්නුවර තිසරණ සරණ ගිය උපාසකයෙක් උන්නා. මේ උපාසකයා නිතර බුදුන් වහන්සේ බැහැ දකින්න දෙව්රම් වෙහෙරට ගියා. බුදුන් වහන්සේට උපස්ථාන කළා. ඔහු කොතරම් දැහැමි වුණත් බිරිඳ අදැහැමියි. පාපයට බරයි. කාමුකයි. සොර සැමියන් ඇසුර ප්‍රිය කළා.

ඈ සොර සැමියන් ඇසුරු කළ දාට උපාසකට දාසියක් වගේ සැලැකුවා. බොහෝම කීකරු වුණා. එසේ ඇසුරු නොකළ දාට ඇය චණ්ඩයි. පරුෂයි. අකීකරුයි. සැමියා ගණන් ගන්නේ නෑ. පොඩි දේකටත් බැණ වදිනවා. එවැනි දවස්වල හිත කලකිරුණු උපාසක විහාරයට යන්නේ නෑ.

මේ බිරිඳගේ පරුෂ ගති නිසා දින කීපයක් උපාසකට බුදුන් දකින්න විහාරයට යන්න බැරි වුණා. පසුව බිරිඳ යහපත් වුණු විට දෙව්රමට යන්න හිතුණා. සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගියා. බුදුන් වැන්දා. එකත්පස් වුණා.

උපාසක ඔබ ටික දවසකින් විහාරයට ආවේ නෑ. ඔබ රෝගී වුණාද? බුදුන් විචාළා.

රෝගී වුණේ නැත ස්වාමිනී!

ඇයි එසේනම් නාවේ?

ස්වාමිනී! මම හරි පැනයකට මැදිවෙලා. ඒකයි විහාරයට එන්න අතපසු වුණේ.

කුමක්ද පැනය?

ස්වාමිනී! මගේ බිරිඳ ගැන.

ඇයට කුමක්ද වෙලා තියෙන්නේ?

කිසිවක් වෙලා නෑ.

එසේනම්?

ස්වාමිනී! ඇය හරි පුදුම ගැහැනියක්.

හොඳයි. කියමු බලන්න කුමක්ද ඒ පුදුමය?

ස්වාමිනී! ඇය එක් දවසකට මට දාසියකට වගේ සලකනවා. පොඩි දරුවකු වගේ. කීකරුයි. තවත් දවසක ඇය චණ්ඩයි. පරුෂයි. ස්වාමී දුවක් වගේ මට අණ කරනවා. බැණ වදිනවා. ඉතින් මේ ගෑනි පුදුම නොවේද? මේ නිසා මම අසරණ වෙලා.

උපාසක ගැහැනුන්ගේ ස්වභාවය දැනගන්න හරිම අපහසුයි. පෙර සිටි නුවණැත්තන්ට පවා ගැහැනුන්ගේ ස්වභාවය දැනගත නොහැකි වූ බව සඳහන් වෙනවා. එසේ නම් ඔබ කෙසේ ගැහැනිය තේරුම් ගන්නද? පවසා මේ කතාව වදාළා.
බරණැස එක් බඹදත් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ තක්සලාවේ දිසාපාමොක් ඇදුරිඳු පන්සියයක් ශිෂ්‍යයන්ට ශිල්ප උගන්වමින් උන්නා.

එකල බරණැසට ඈත දනව්වක බමුණු තරුණයෙක් මේ සිසුන් අතර සිටියා. ඔහු හොඳින් ශිල්ප හැදෑරුවා. මේ තරුණයා ශිල්පායතනය සමීපයේ උන් තරුණියක් සමඟ මිතුරු වුණා. ඈ කපටියි. කෙසේ හෝ ඔහු සැමියා කරගන්න හිතුවා. නිතර හමුවීමට ආවා. මායම් පෑවා. මේ අහිංසක බමුණු තරුණයා ඇයට අසුවුණා. ඇය බිරිඳ කරගත්තා. මුලින් ආදරයෙන් කල් ගෙවූ මේ යුවළ පසුවෙනකොට වෙනස් වුණා. බිරිඳ අනාචාරයේ හැසිරුණා. එය ඔහු දැනගත්තේ නෑ. ඇයත් සමහරදාට සොර සැමියන් ඇසුරු කළ විට සැමියාට දෙවියකුට වගේ ගරු කළා. සැලැකුවා. ආදරයෙන් කතාබහ කළා. එසේ ඇසුරු නොකළ දාට චණ්ඩ වුණා. සුළු දේකටත් කෝප වුණා. බැණ වැදුණා. එවිට මේ තරුණයා කලකිරීමට පත් වුණා. තක්සලාව පැත්ත පළාතට ගියේ නෑ. කල්පනා කර කර උන්නා. එසේ සිත අවුල් වී ටික දවසක් ශිල්පායතනයට නොගිහින් සිටි ඔහු බිරිඳ යහපත් වුණු පසු එහි ගියා.

ඔබ ඇයි ටික දිනක් මෙහේ නාවේ. ඔහොම කොහොමද ශිල්ප හදාරන්නේ. ඔබ රෝගී වුණාද? ඇදුරිඳු ඇසුවා.

ඇදුරුතුමනි! මම රෝගී වූයේ නෑ.

එසේ නම් ඇයි ශිල්ප හදාරන්න නාවේ?

ඇදුරුතුමනි! මම විශාල කරදරයකට පත්වෙලා.

කුමක්ද කරදරය?

මම බිරිඳක් ගත්ත එක.

ඔව්. ඒක ඔබ කරපු ලොකු වැරැද්දක් තමයි. ඔබේ මව්පියෝ ඔබ මෙහේ එව්වේ ශිල්ප හදාරන්න. ගෑනු ගන්න නොවේ. හොඳයි දැන් එය වෙලා ඉවරයි. දැන් ඇගෙන් ඔබට තියෙන කරදරය කුමක්ද?

ඇදුරුතුමනි! ඇය එක දවසක හරිම කීකරුයි. මට හරියට ආදරෙයි. දාසියක් වගේ මගේ වැඩ කටයුතු කරනවා. කාටත් නිහතමානියි. හරි හොඳයි. 

එසේ වුවත් ඇය තවත් දවසක හරි තදයි. නපුරුයි. නිතර මා පීඩාවට පත් කරනවා. මගේ හිත අවුල් කරනවා. එදිනට මට කිසිවක් කරන්න හිත දෙන්නේ නෑ. ඒකයි ශිල්පායතනයට නාවේ.

දරුව! ස්ත්‍රිය පුදුමයි. විශ්වාස කරන්න බෑ.

ඒ ඇයි? ඇදුරුතුමනි!

ස්ත්‍රිය අනාචාරයේ හැසිරුණු දාට තම සැමියාට දේවත්වයෙන් සලකනවා. යහපත් වෙනවා. අනාචාරයේ නොගිය දාට සැමියා හතුරකු වගෙයි ඇයට පෙනෙන්නේ. වෛර කරනවා. ඒක තමයි ස්ත්‍රීන්ගේ ස්වභාවය. හැබැයි දරුව, හැම ගැහැනිය ගැනම එසේ සිතන්න එපා. පතිනියොත් ඉන්නවා. මා කීවේ සමහර ස්ත්‍රීන් ගැන.

ඉතින් ඇදුරිඳුනි, මා දැන් කුමක්ද කළ යුත්තේ?

ඔබ මධ්‍යස්ථ වන්න.

ඒ කෙසේද?

දරුව, බිරිඳ මට සෙනෙහස දක්වනවා කියා සතුටු නොවන්න. එසේම ඇය මට කැමැති නෑ, ආදරය නෑ කියා ශෝක නොවන්න. ඇගේ මායම්වලට නොරුවටෙන්න. එය අමාරු කාරියක්. මන්ද යත් ස්ත්‍රී මායම් හරි ප්‍රබලයි. ඇගේ අභිප්‍රාය කෙසේ හෝ මායම්වලින් ඉටුකර ගැනීමට සමත්කම් ඇයට තියෙනවා. කොටින්ම දරුව, ස්ත්‍රිය පාපකර්මය. දුරාචාරය. එසේ හෙයින් සිත අවුල් කරගන්න එපා. ඇයටත් ඒ බව පෙන්වන්න එපා. හැකිතාක් මධ්‍යස්ථ වන්න.

ඇදුරිඳුගේ ඔවා ඔහු පිළිගත්තා. එතැන් පටන් බිරිඳට ඇල්මක් දැක්වූවේ නෑ. ඔහුගේ වෙනස බිරිඳට වැටැහුණා. තමාගේ වැරැදි ඇදුරිඳු වටහා දී ඇති බව ඇය හිතුවා. ඔහු ඇය අතහැර යතැයි ඈ බිය වුණා. අනාචාරයේ යෑම අතහැරියා. පාප ක්‍රියා අතහැරියා. සැමියට හොඳින් සැලැකුවා. එහෙත් ඔහු මධ්‍යස්ථව ජීවත් වුණා.

බුදුන් වහන්සේ උපාසකට මේ කතාව ගෙනහැර ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඉන් උපාසක සෝවාන් ඵලය ලබාගත්තා.

දුරාජාන ජාතකය ඇසුරින් 
(බී.පී.කේ. තිලක)

 

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00