2019 මාර්තු 09 වන සෙනසුරාදා

තමන්ගේ තරම නොදැනීමේ විපාක

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 144

බුදුරජාණන්වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන විට දේවදත්ත හිමියෝ පැමිණ එකත්පස් වුණා. කිමෙක්ද අවශ්‍යතාව බුදුන් විචාලා.

අප සංඝයාගේ වත්පිළිවෙත් වෙනස් කළ යුතුයි.

ඒ කෙසේද කුමකට ද බුදුන් විචාලා.

සෑම භික්ෂුවකටම පාංශූකූල පොරවන්න. සොහොන් බිමක සිට ධූතාංග පුරන්න. රුක්මුල්වල ඉඳ භාවනා කරන්න, මස් මාංස නොවළඳන්න, වනගතව මිස ගම්මානවල වාසය නොකරන්න ලෙස නියෝග පනවා පිළිවෙත් සකස් කරන්න හොඳයි.

මේ දේවදත්ත ස්ථවීර, මගේ ශාසනයේ සුඛිත මුදිතයෝ බොහෝ දෙනා පැවිදි වී සිටිනවා. එබැවින් ඔබ කියන අණපනත් පනවන්න බෑ. කරන අය කළාවේ. නොකරන අය නොකළාවේ.

ඒ බුදු වදනින් දේවදත්තයෝ නොසතුටට පත්වුණා. ඒ වනවිට සැරියුත් තෙරුන්ගෙන් පැවිද්ද ලැබූ භික්ෂූන් පන්සියයක් ජේතවනාරාමයේ වැඩසිටියා. දේවදත්ත හිමියෝ උන්වහන්සේලා හමුවුණා. ඔබ බුදුන්ගෙන් ලබාගන්නා උපසම්පදාව පල රහිතයි. පල සහිත දෙයක් කරන්න මාත් එක්ක එන්න කිව්වා.

ඒ හිමිවරුනුත් දේවදත්ත බහට රැවැටුණා. පසුපස වැඩියා. ඔවුන් ගයා ගඟ ඉස පන්සලක් හදා ගත්තා. මමය බුදුන් හරිමඟ මෙයයි දේවදත්ත හිමියෝ නිතර ප්‍රකාශ කරමින් හිටියා.

මේ භික්ෂූන් පන්සියයට නිවන් දකින පින් ඇති බව බුදුරජාණන්වහන්සේ දුටුවා. දෑගසව්වන්වහන්සේලා අමතා. ඔබ දේවදත්ත ස්ථවීරගේ පන්සලට යන්න. ඒ පන්සලේ වැඩසිටින අපෙන් ගිය භික්ෂූන් බණ දෙසා පහදාගෙන එන්නයැයි වදාළා.

රහතන් වහන්සේලා වැඩම කළා. උන්වහන්සේලා දුර සිට දුටු දේවදත්ත හිමියෝ බුදුරජාණන් වහන්සේ ලෙස බණ වදාරමින් උන්නා. ඒ දේවදත්ත හිමියෝ සිතුවේ දෑගසව්වන් තමා ෙකරේ පැහැදී පලා ආවා කියා. සැරියුත් හිමි දේවදත්ත හිමිට සමීප වනවිට සාරිපුත්ත ස්ථවීරයෙනි! මගේ වයසට දැන් ඇඟපත වේදනා දෙන ගතියක් තියෙනවා. එබැවින් ඔබ දහම් දෙසන්න මම ටිකක් විවේක ගන්නවා කිව්වා. බිම නිදාගත්තා.  වැඩි වෙලා ගියේ නෑ. හොඳටම නින්ද ගියා. සැරියුත් මහරහතන්වහන්සේ  ධර්මදේශනාව පැවැත්තුවා. ඒ භික්ෂූන් පන්සියයම රහත් වුණා. සැරියුත් රහතන් වහන්සේ ජේතවනාරාමයට වඩින්න වුණා. රහතුන් පන්සියයද මහරහතන් වහන්සේ පසුපස වැඩියා. ඒ දුටු කෝකාලික හිමියෝ මහා දේවදත්ත හිමි ළඟට වැඩියා. උන්වහන්සේ ගොරව ගොරවා නිදි. එතැන තැබූ යගුරක් ගෙන දේවදත්ත හිමියන්ගේ විලුඹට ගැසුවා. දේවදත්ත හිමියෝ මරහඬ දීගෙන අවදි වුණා.

ඔබ මර නිදි. ආන්න සාරිපුත්ත තෙර භික්ෂූන් කැඳවාගෙන යනවා. කියා කෑ ගැසුවා.

ඒ හඬ අසමින් ආපසු නොහැරී භික්ෂූන් ජේතවනාරාමයට වැඩියා. 

මේ විස්තරය සාරිපුත්ත තෙරණුවෝ බුදුන් වහන්සේට ප්‍රකාශ කළා.

සාරිපුත්ත ස්ථවීර දැන් මතු නොව පෙරද මා සේ ක්‍රියාකරන්නට ගොස් දේවදත්ත විනාශයට පත්වුණා. පවසමින් බුදුන්වහන්සේ මේ කතාව වදාළා.

සරුවට වැඩුණු ගස්වැල්වලින් ගහන වනයක රත්ගල් තලාවක් තිබුණා. එහි කේසර සිංහයෙක් උන්නා. ඌ තමයි කැලේ නායකයා. සාමකාමීව තනතුර රැකගත්තා. කාටවත් හිරිහැරයක් නිරපරාදේ කළේ නෑ.

මේ සිංහයා දිනක් සතකු මරාගෙන කා දිය බොන්න විලට ගියා. දිය බී ආපසු ගුහාව බලා එන අතරමඟ කෙසඟ වී ගිය නරියෙක් උන්නා. ඌට සිංහයා දැක මඟහරින්න බැරිව ගියා. සිංහයා ළඟට ගොස් හතරගාතෙන් වැඳ වැටුණා.
ඇයි තොපට කරදරයක්ද?

උතුමාණෙනි! මම අසරණයි. ආහාර සොයා ගැනීම අපහසුයි. බලන්න මගේ හැටි. මම ඔබතුමාට සේවය කරන්නනම්. මට කන්න දෙයක් විතරක් දෙන්න යැයි කිව්වා. 

සිංහයාට ඌ ගැන දුක හිතුනා. පෙර මරාගෙන කෑ සතාගේ ඉතිරිය නරියාට දුන්නා. ඒවා කා ඉවර වුණු පසු රත්ගල් ගුහාවට නරියා එක්ක ගියා. ඌ ගුහාවේ මුල්ලකට වෙලා උන්නා. සිංහයා නරියට කතා කළා. 

ඔබ හෙට මේ රත්ගල් තලාවට නගින්න. අවට බලන්න. එතැනට වනයේ සිටින සියලුම සතුන් පෙනෙනවා. ඉන් ඔබ කැමැති සතකු කියන්න. මම ඌ මරා දමනවා. ඒ මාංස අප දෙදෙනාට සෑහෙනවා. කිව්වා. 

නරියා ඊට කැමති වුණා. සිංහයා කී ලෙසම කළා. ඌ පෙන්නන සතා මැරුවා. දෙදෙනාම ඒ මාංස බෙදාගෙන කෑවා. සතුටින් උන්නා.

කාලය ගෙවී ගියා. ඒ සමඟ නරියාගේ කෙසඟ බවද දුරු වුණා. ඇඟපත සවිමත් වුණා. අතීතය අමතක වුණා. දිනක් නරියා රැයේ නිදාගෙන ඉන්න විට කල්පනාවට වැටුණා. මේ සිංහයා ද සිව්පාවෙක්. මාත් සිව්පාවෙක්. අපි මාංස කෑමෙන් ජිවත් වෙන්නේ. ඌ වගේම මමත් දැන් සවිමත්. ඉතින් කුමකටද එයා මරණ සතුන්ගේ මස් මම කන්නේ. ඒක පහත් වැඩක්. මින් පසු මම සතුන් මරාගෙන කනවා. හිතුණා. නැගිට්ටා. සිංහයා ළඟට ගියා. ඌ තද නින්දේ.

උතුමාණෙනි! කියා සිංහයා අවදි කළා.

ඇයි? මොකද තොපට මක්වෙලාද?

මීට පස්සේ ඔබ මරණ සතුන්ගේ මස් මට එපා. මම මොකටද අනුන් මරණ සතුන්ගේ මස් කන්නේ. මීට පස්සේ මමම මරාගෙන කනවා.

තොපට පුළුවන්ද ඒ තරම් වැඩක්.

මොකද බැරි මට දැන් ඇතකු වුවත් මරන්න පුළුවන්.

සිංහයා සිනාසුණා.

ඇයි මට හිනැහෙන්නේ.

මෝඩ නරියා ඇතුන් මරන්න පුළුවන් කේසර සිංහයන්ට විතරයි. නිකන් නහින්නේ නැතිව නිදා ගනින්.
හිතා ඉන්නේ එහෙම තමා අප පහත් කරලාමයි කතාව.

හොඳයි තොපට ඇතකු මරන්න පුළුවන් නම් උදයට ගල්තලාව පාමුල කොළ කන්න එන ඇතා තොප දැක තියෙනවානේ. හෙට ඌ මරාපන්.

හරි හෙට මම නරියාගේ හැටි පෙන්වන්නම්. කී නරියා යළි නිදාගන්න ගියා. පසුදා පහන් වුණා. නරියා රත්ගල්තලාවට නැග්ගා. ඇතා ගල පාමුල කොළ කනවා. නරියා ඇඟ කිළිපොළා හැරියා. සිංහයා වගේ නාද කළා. එහෙත් ආවේ සිංහ හඬ නොවේ. නරි හූවකි. නරියා ඇතා දෙස උඩඟුවෙන් බැලුවා. ඇතා වගට වගක් නෑ. නරියා යළිත් නාද කළා. ඇති සිංහයා නාද කළා නම් නවතින්නේ ගව්ගණන් දුර දුවලා. එහෙත් නරි හඬ ගණන් ගත්තේ නෑ. නරියට තරහා ආවා. යළි ඇඟ කිළිපොළා හැරියා. කුරුමානම් අල්ලා ඇතාගේ පිටට පැන්නා. කුරුමානම වැරුදුණා. ඇතාගේ ඇඟේ හැපී බිම වැටුණා. ඇතා කෝප වුණා. ඒ පහත් සතකු ඇඟේ හැපීම නිසා. බිම වැටුණු නරියා පයින් පගාදැම්මා. නරියාගේ ඇට කටු කුඩු වුණා. මෙතෙක් සිදුවූ සියල්ල බලාසිටි සිංහයා නරියා ළඟට ආවා. සිංහයා දුටු ඇතා පැන දිව්වා. සිංහයා නරියා දෙස බැලුවා. ඌ මිය ගිහින්. ඔය දේවදත්ත ඒ නරියා කළ වැඩ තමයි කරන්නේ බුදුන් වදාළා. 

(විරෝචන ජාතකය ඇසුරින්) 
බී.පී.කේ. තිලක

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00