2019 මාර්තු 16 වන සෙනසුරාදා

කටකාරයාට පාඩමක්

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

සැවැත්නුවරට නුදුරු පිටිසර ගමක් තිබුණා. ඒ ගම තිසරණ සරණ ගිය බොහෝ උපාසකවරු උන්නා. ඒ අය දන්දීමට බොහෝම කැමැති වුණා. එබැවින් භික්ෂූන් වහන්සේලා නිතර ඒ ගමට පිඬුසිඟා වැඩියා. වැඩිපුර වැඩියේ සාමනේර සහ මහලු භික්ෂූන් වහන්සේලා.

මේ අතර එක් අමුතු පුද්ගලයෙක් ඒ ගමට ආවා. ඔහු මේ ගමේ දොරටුවේ උන්නා. සාමනේර මහලු හිමිවරුන් නතර කරගත්තා. ප්‍රශ්න කරන්න වුණා. එය භික්ෂූන්ට මහත් කරදරයක් වුණා. ඔහු නිසා පිඬුසිඟා යන වේලාවත් පමාවුණා. එබැවින් භික්ෂූන් ඒ ගමට පිඬුසිඟා යෑමට මැලිවුණා.

වෙනත් පෙදෙසක හිමිනමක් ජේතවනාරාමයට වැඩියා. ටික දිනක් එහි නතර වුණා. සාමනේර හිමිවරුන් සමඟ කතාබහක යෙදුණා. කොයි ගමේද භික්ෂූන්ට හොඳට දානේ දෙන්නේ යැයි විමසුවා.

අසවල් පිටිසර ගමේ නම් ඉතා හොඳට ශ්‍රද්ධාවෙන් දන් පිළිගන්වනවා. හැබැයි මෑතක සිට ඊට බාධාවක් තියෙනවා.
ඒ කුමක්ද?

අමුතු පුද්ගලයෙක් ඒ ගමට ඇවිත් ඉන්නවා. ඔහු ගම්දොර සිට දනට වඩින අප නවතාගෙන පැන අහනවා. ඒක මහා වදයක්. ඒ නිසා අපි ඒ ගමට දැන් පිඬුසිඟා යන්නේ නෑ.

හා ඒකට කමක් නෑ. මම ආයේ ඔබවහන්සේලාගෙන් ප්‍රශ්න අහන්න ඉඩ කියන්නේ නෑ. මට ඒ ගමට වඩින්න මඟ පෙන්වන්න.

එක් සාමනේර හිමිනමක් ඒ හිමියන්ට ගමට යන මඟ පෙන්නුවා. මේ නිර්භීත හිමියෝ එහි පිඬුසිඟා වැඩියා. ඒ ගම මුවදොරදී අර පුද්ගලයා හමුවුණා. උන්වහන්සේට කතා කළා.

ඇයි ඔබ මට කතා කළේ... හිමියෝ විමසුවා.

පොඩ්ඩක් නවතින්න. මට ඔබවහන්සේගෙන් පැනයක් අසා දැනගන්න ඕනෑ.

දැන් බෑ. පිඬුසිඟා ආවට පසු අහන්න යැයි පැවැසූ හිමියෝ ගෙදරින් ගෙදරට පිඬුසිඟා වැඩියා. ඒ මිනිසාත් උන්වහන්සේ පස්සෙන් ගියා. පිඬුසිඟා අහවර වී ඒ හිමියෝ දන් වළඳන්න නතර වුණා. එවිට අර මිනිසා ප්‍රශ්න අහන්න සැරැසුණා. 
ස්වාමීනි! මම ප්‍රශ්න අහනවා උත්තර දෙනවාද ඇසුවා.

ඔබට පේන්නේ නැද්ද මම දන් වළඳනවා. එය අහවර වුණාට පසු අහන්න. හිමියෝ පැවැසුවා. දන් වළඳා නිමවුණා.
ඔහු යළි පැන අහන්න හැදුවා.

මෙතැන බෑ. ඊට සුදුසු තැනකට යමු යැයි පවසා හිමියෝ ඔහු වනරොදක් තුළට කැඳවාගෙන ගියා. පාත්‍රය සහ පා සිවුරු පැත්තකින් තැබුවා. ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගත්තා. ඒ මිනිසාට බිමට වැටෙනකම් පහර දුන්නා. ඔහු පහර දෙන්න එපා පහර දෙන්න එපා... කියනකම් පහර දුන්නා. පසුව නැගිටිනු කිව්වා. තොප මින්පසු සාමනේර සහ මහලු හිමිවරුන්ගෙන් ප්‍රශ්න අසා කරදර කළොත් මම යළි එනවා. තොපට හොඳ පාඩමක් උගන්නනවා යැයි පවසා විහාරයට වැඩියා. ඉන්පසු පැන අසනවා තබා ඔහු ඒ ගමේවත් හිටියේ නෑ.

මේ පුවත දම්සබා මණ්ඩපයේ කතාබහට ලක්වුණා. එවිට බුදුන් වහන්සේ ඔය භික්ෂුව ඔහුට දැන් නොවේ මින් පෙරත් නින්දා කර ඇතැයි පවසා මෙම කථාව වදාළා.

එදා මගුරට වැසියන්ගෙන් බොහෝ දෙනා වෙළෙන්දෝ. ඔවුන් දුරු රටවලට වෙළෙඳාමේ ගියා. ඔවුන් බොහෝ දෙනකුගේ වෙළෙඳපොළ වූයේ මගධ රට. මේ දෙරට අතර ඇති පාරේ එදා මහ කැලෑවක් හමුවෙනවා. එහි බොහෝ වනසතුන් උන්නා. මේ කැලෑවේ පාර අයිනට වෙන්න අතුපතර විසල් ගස් තිබුණා. ඒ ගස් ඇති තැනක් එළිපහළි කරගෙන වෙළෙන්දෝ නවාතැන් ගත්තා. ආහාර පවා එතැන පිළියෙළ කරගත්තා. සමහරු ඒ ගස් යට මඳ වෙලාවක් සැතැපුණා.

එවැනි එක් වෙළෙඳ පිරිසක් ගෙන ආ බඩු භාණ්ඩ සියල්ල මගධ රටදී අලෙවි කළා. ලොකු ලාභයක් ලැබුවා. ඒ සතුටට රා කළ කීපයක් මිලදී ගත්තා. ආපසු වගුරට බලා ආවා. කැලයේ නවාතැනේ නතර වුණා. ගවයන් ගැල්වලින් ලිහාදමා කෑම පිළියෙළ කළා. පසුව රා කළ ටික හිස් කළා. ඔවුන් හොඳ පදමට ආවා. හිස් කළ කළගෙඩිත් රා බිව් ගොටුත් එතැන දමා ගැල් බැඳගෙන යන්න ගියා.

මේ කැලෑවේ උන් කුරැමිණියෙක් අහම්බෙන් වගේ ඒ නවාතැන් පොළට ආවා. ඌ හිස් වූ රා ගොටු දැක්කා. ඒවා ළඟට ගියා. ලෙවකෑවා. අමුතු රසක් ආවා. කෑදර වුණා. හිස් රා ගොටු සියල්ලම ලෙව කෑවා.

කුරුමිණියාට දැන් හොඳ ගණන්. නැගිට ගන්නත් බෑ. එහෙත් හිතට අමුතු හයියක් ආවා. වැටි වැටී නැගිට කැලය තුළට ගියා. වැඩිදුරක් ගියේ නෑ. වසුරු ගොඩකට වැටුණා. ඌ එහිම හිටියා.

මේ අතර කැලයේ උන් තනි ඇතා කොළ අතු කකා ඒ පැත්තට ආවා. ඌට වසුරු ගඳ දැනුණා. ආපසු හැරුණා. මත් වී වැටී උන් කුරුමිණියා ඇතා දුටුවා. ඌ හිතුවා ඌට බියේ ඇතා හැරුණාය කියා. කුරැමිණියා ඇතාට කතා කළා.
ඒයි ඇතෝ! මොකද ආපසු හැරැණේ මට බයේද? සම තත්ත්වයේ අය දැක්කම ඔහොම තමා. බියවන්න එපා මගෙන් හිරිහැරයක් ඔබට වන්නේ නෑ. ළඟට වරෙන්.

ඇතා ආපසු හැරුණා. කවුද මා වගේ එකා කියා වටපිට බැලුවා. පේන මානෙක එකෙක් නෑ. ඌ යළි හැරී යන්න හැදුවා. මොකද යන්නේ. මා පේන්නේ නැද්ද? කුරුමිණියා ඇසුවා. ඒ හඬත් එක්කම ඇතා බිම බැලුවා.

මොකද වෙන්නේ. ඕවට එන්න එපා. හොඳට නම් මමත් හොඳා. නරකට මාත් නරකයි. කුරුමිණියා කිව්වා.
ඇතාට තරහ ආවා. වසුරු ගොඩ ළඟට ගියා. එහි එන ගඳ ඉවසන්න බැරිතරම්. කමක් නෑ මුගේ කට නතර කළ යුතුයි සිතුවා. මෙසේ කිව්වා.

තා වැනි නීචයකුට මගේ දළෙන් අනින්න බෑ. ඒ තා කුඩා නිසා. අනෙක වසුරු ගෑවෙන නිසා. හොඬෙන් අල්ලා පොළොවේ ගහන්නත් බෑ. අහුවෙන්න සිරුරක් තොපට නැති නිසා. වසුරු ගෑවෙන නිසා. වෙනෙකක් තබා මගේ පිරිසිදු පා වලින් පාගන්නත් බෑ පා අපිරිසුදු වන නිසා. එහෙත් තොගේ කට හිටවන්න ඕනෑ ඇතා කිව්වා.

ඔන්න වසුරු ගොඩේ ඉන්න තොපට වසුරුවලින්ම පහර දෙනවා. කී ඇතා කුරුමිණියා යටවෙන්න වසුරු පිඬක් හෙළුවා. මුත්‍රාද කළා. කුරුමිණියා මියගියා.

එදා ඔය භික්ෂුව ඒ පුද්ගලයා දමනය කළේත් ඒ විලසටයි. බුදුන් වදාළා.

(ශුථපාන ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක