2019 මාර්තු 30 වන සෙනසුරාදා

මසුරුකම නිසා අනුවණයෙක් වුණු බමු‍ණෙක්

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

බුදුන් වහන්සේ සැවැත් නුවර වේළුවනාරාමයේ වැඩ වසන සමයේ දේවදත්ත හිමියෝ ගයා නදී තෙර පන්සලක් තනාගෙන විසුවා. ඒ හිමියන්ටත් භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් උන්නා. මේ පිරිස “බුදුන් ළඟ නිවැරදි පිළිවෙත් නෑ. අපි ළඟයි හරි පිළිවෙත් තියෙන්නේ” කියා උවැසි උවැසියන් රැවැට්ටුවා. මේ රැවටීම ගැන දම්සභාවේ කතාබහට ලක් වුණා. බුදුන් වහන්සේ මේ කතාව අසා “මහණෙනි! දේවදත්ත දැන් මතු නොවේ, පෙරද තමන්ගේ වාසියට මුසාවාද පවසා ඇතැයි” පෙන්වා දීමට මේ කතාව වදාළා.

එක කලක් බරණැස් නුවරට නැකැත් සමය උදා වුණා. එ නුවර වැසියෝ සතුටින් ඉපිල ගියා. දොරින් දොර අලංකාර කළා. වීදි සැරසුවා. ගෙවල්වල වෙනදාට වඩා වෙසෙස් කෑම බීම සකස් කළා. පූජාසන ළඟට බැතිමත්හු එක්රොක් වුණා. පිදිවිලි කළා. යාදිනි කළා.

තවත් තැනක මත්පැන් බොන්නෝ ද උන්නා. ඔවුන් රා කළගෙඩි හිස් කළා. මස් මාංශ කෑවා. තවත් තැනක නැටුම් ගැයුම් වැයුම් තිබුණා. මේ නැකැත් සමය තමයි බරණැසට ප්‍රීතිමත් සමය. ඒ නිසා මුළු නුවරම එකම සැණකෙළියක සිරි ගත්තා.

එ නුවරට අයත් කුඩා කැලයක් තිබුණා. එහි නරියෙක් උන්නා. ඌට ගෙවල ඉදෙන මස් මාළුවල සුවඳ දැනුණා. රෑ වෙනකම් බලා හිටියා. මහ රැයේ හෙමින් හෙමින් නුවරට කිට්ටු කළා.

ඒ වනවිට විටත් නුවර වැසියෝ කා බී විනෝද වෙනවා. මේ කපටි නරියා වටපිට බැලුවා. ගෙවල් ළඟට ගියා. ළඟපාත ගෙදරක මුළුතැන්ගෙට රිංගුවා. එහි කිසිවෙක් පේන්න හිටියේ නෑ. හොඳට විපරම් කළා. රා කළගෙඩි, මස් මාංශ පැත්තක තිබුණා. ඌ රා කළගෙඩියක් හළාගත්තා. බිව්වා. රස වැටුණා. තව තව බිව්වා. මස් හට්ටියක් පෙරළාගත්තා. කෑවා. ආයෙත් රා බිව්වා. යළිත් මස් කෑවා.

නරියා දැන් හොඳ පදමකට ඇවිත්. නැඟිටගන්න බැරි තරමට මත්වෙලා. බඩ ගාගෙන මුළුතැන්ගෙයින් පිටවුණා. පාර අයිනට ආවා. ළඟම තිබූ පඳුරකට රිංගාගත්තා. ඌට එතැන නින්ද ගියා.

නරියාට ඇහැරෙන විට වටින් ගොඩින් එළිය වැටී තිබුණා. ඌ වටපිට බැලුවා. නිවෙස්වල අය අවදි වී උන්නා. කැලයට යෑමට ක්‍රමයක් නෑ. කවුරුහරි දැක්කොත් විනාශයි. මේන් නරියෙක් කියා කෑගසනවා. එතකොට අනිත් මිනිස්සු කැට මුගුරු අරගෙන ඇවිත් මට ගහනවා. රා බී මත්වී උන් නිසා දැන් ඇඟටත් පණ නෑ. ඒ නිසා වේගෙන් දුවගොස් සැඟවෙන්න බෑ. නරියා කල්පනා කළා. “මින් ගැලවෙන්නට උපායක් හිතට එන්නෙත් නෑනේ” ඌට හිතුණා. මේ අතර බමුණෙක් නරියා උන්න තැනින් යන්න ආවා. නරියා ඔහු දෙස බලා ඉදිරියට ගියා.

“හා.. බමුණු උතුමාණෙනි!” කිව්වා.

බමුණා නරියා දෙස හැරී බැලුවා.

“කෑගහන්න එපා. ලොකු වාසියක්.”

“ඒ කුමක්ද? නරියෝ”

“හෙමින් කතා කරන්න. කාටවත් ඇහේවි.”

“නෑ.. නෑ.. කුමක්ද වාසිය?” බමුණා හෙමින් ඇසුවා.

“මසුරන් දෙසීයක්.”

“මසුරන්.. තොට කොහෙන්ද බොල ඒවා?”

“මට නෑ තමයි. එහෙත් තියෙන තැන දන්නේ මම විතරයි. හරිද?”

“හොඳයි. කොතැනද ඒවා තියෙන්නේ?”

“පෙන්නන්නම්.”

“ඉතින් යමං”

“අපොයි උතුමාණෙනි, මෙහෙම යන්න බෑ. ඔබතුමා මගේ පස්සෙන් යනකොට දකින අය සැක කරනවා. උසුළු විසුළු කරනවා.”

“ඔව් ඒක ඇත්ත තමයි. කොහොමද ඉතින් අපි දෙන්නා යන්නේ?”

“උතුමාණෙනි! ඕකත් වැඩක්ද? ඔය කරේ තිබෙන සළුවෙන් මා කාටවත් නොපෙනෙන ලෙස ඔතාගෙන කරට ගන්න. ඊට පසු සොහොන දෙසට යමු. එතකොට කවුරුවත් සැක කරන්නේ නෑ.”

බමුණා කල්පනා කරන්නට වුණා. “මේ ජරා නරියා සළුවෙන් ඔතාගෙන කරෙන් ගෙන යන්න. චී.. මොන නීච වැඩක්ද? බෑ.. බෑ.. එහෙත් එහෙම නොකළොත් මසුරන් දෙසීය නම් ලැබෙන්නේ නෑ. ඒක ලොකු වාසියක්. අනෙක සුළුපටු ගාණක්ද?” බමුණා සිතන්න වුණා. නරියා ඔහු දෙස බලා උන්නා. පමා වැඩියි. කාපු බීපු මුළුතැන්ගෙයි අය දැක්කොත් නරියා ඉවරයි. ඌ හඬ අවදි කළා.

“මොකද උතුමාණෙනි, මම යන්නද?” ඇසුවා.

බමුණාට මසුරන්වලට ලෝභය වැඩි වුණා.

“එපා.. එපා.. මෙහෙට වරෙන්” කිව්වා. සළුව අතට ගත්තා. නරියා කරේ තියා නොපෙනෙන්න ඔතාගත්තා. කරේ තියාගෙන පිටත් වුණා. සොහොන් බිමට ළඟාවෙන විට නරියාගේ කැත ගතිය මතුවුණා. මේ ජරා සතා බමුණාගේ සළුවේ මළපහ කළා. බමුණා කරේ උන් නරියා බිම තැබුවා. ඌ එහෙට මෙහෙට දැඟ  ලුවා. එළියට ආවා.

“නරියෝ.. කොතැනද මසුරන් තියෙන්නේ?” බමුණා ඇසුවා. “ආන් අතන” කියා පස් ගොඩැල්ලක් පෙන්නුවා. බමුණා එතැනට ගියා. නරියා කැලය පැත්තට ගියා. බමුණා නොඉවසිල්ලෙන් පස්ගොඩ හාරන්න වුණා. කැලය අසලට ගිය නරියා, “මෝඩ බමුණෝ, ඔතැන ඇති මසුරමක් නෑ. මට ඕනෑ වුණේ කාටවත් නොපෙනෙන්න නුවරින් පැනගන්න. ඒකට උදව් කළාට ඔබට ස්තූතියි. මා ඔබට මතක් වෙන්න සළුවේ මළපහ කළා. ඒවත් අරන් ආපසු පලයන්.”

බමුණාට හොඳටම තරහ ගියා. මුගුරක් අහුලාගෙන නරියාට දමා ගැසුවා. ඉන් බේරුණු නරියා “හූ.. හූ...” කියා කැලය තුළට දිව්වා.

මේ සිද්ධිය දුටු රුක් දෙවියෙක්, “බමුණෝ මසුරුකම නිසා කරගත් දේ මදිද? නරි වසුරු ඔබේ සළුවේ පමණක් නොවේ, කරෙත් ගෑවිලා. කළ මෝඩකම් යන්න ගිහින් හොඳට ස්නානය කරගන්න. මසුරුකම වැඩිවුණාම මිනිස්සු අනුවණයන් බවට පත්වෙනවා.” කිව්වා.

“මහණෙනි! එදා ඒ කැණහිලා තමයි ඔය දේවදත්ත ස්ථවිරයෝ” යැයි බුදුන් වදාළා.”

සිඟාල ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක