2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

කේලාම් කීමේ විපාක

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 461

සැරියුත් මුගලන් දෑගසව් වහන්සේලා කලක් වැඩ සිටියේ පිටිසර ගමක ආරාමයකයි. එම ආරාමයේ උන් පුද්ගලයෙක් රහතන් වහන්සේලාගේ මිතුදම දැක පුදුම වුණා. මේ රහතන් වහන්සේ දෙනම භේද කරන්න හිතුවා. ඔහු සැරියුත් මහ රහතන් වහන්සේ කුටියේ තනිව වෙසෙන විට සෙමින් කුටියට ඇතුළු වුණා. වැඳ එකත්පස් වුණා.

ඇයි ඔබ ආවේ. වුවමනාවකටද? රහතන් වහන්සේ විමසුවා.

ස්වාමීනි! ඔබවහන්සේගේ යහපත තකා යමක් පැවැසීමටයි ආවේ.

කුමක්ද? කියන්න කියන්න....

ස්වාමීනි! මම මේ කියන්නේ ගතු කීමක් නොවේ.

හරි කියන්න.

ස්වාමීනි මුගලන් මහ රහතන් වහන්සේ පැවැසුවා මා සමඟ. ඔය සාරිපුත්ත ස්ථවිරයෝ මා සමාන නෑ. ජාතික වශයෙනුත් එසේමයි. ඍද්ධි ප්‍රාතිහාර්යත් එතරම් නෑ.

සාරිපුත්ත රහතන් වහන්සේ සිනාසුණා. හා හොඳයි ඔබ යන්න. යැයි ප්‍රකාශ කළා.

මේ පුද්ගලයා එයින් නතර වුණේ නෑ. ඔහු මුගලන් මහ රහතන් වහන්සේගේ කුටියට ගියා. වැඳ නමස්කාර කළා. ඔබ ඇයි ආවේ. කුමක් හෝ අවශ්‍යතාවයක්ද? රහතන් වහන්සේ විමසුවා.

ස්වාමීනි වැදගත් යමක් කියන්න ආවේ. හිත කලබල කරගන්න එපා.

උපාසක රහතන් වහන්සේලා කලබල වන්නේ නෑ. නොසැලෙන ගුණයෙන් යුක්තයි. ඔබ කියන්න.
ස්වාමීනි සැරියුත් හිමි ප්‍රකාශ කළ දෙයින් මට වැටැහුණා ඒ වහන්සේ ඔබ වහන්සේ සමඟ එතරම් හොඳහිතක් නෑ කියා.
හරි රහතන් වහන්සේ ප්‍රකාශ කළ දෙය කියන්න.

උපාසක මුගලන් තෙර එතරම් දක්ෂයෙක් නොවෙයි. මා තරම් උසස් කුලයක නොවේ. ඔය පෙන්වන තරම් ඍද්ධි බලයක් නෑ කිව්වි.

මුගලන් මහ රහතන් වහන්සේ බිම බලාගෙන හිනැහුණා. ඔබ යන්න යැයි ප්‍රකාශ කළා. පසුව සැරියුත් හිමිගේ කුටියට වැඩියා. ඒ මිනිසා කී දේ දන්වා සිටියා.

පුදුමයි! ඔය මිනිසා ඔබවහන්සේ ගැනත් මට ඔය ලෙසම ප්‍රකාශ කළා. ඉතින් ඔබ වහන්සේ ඔහුගේ කීම පිළිගත්තාද?
නෑ ඔබවහන්සේ ගැන දන්නවනේ. ඒ කෙසේ වෙතත් ඔය පුද්ගලයා නපුරුයි. ආරාමයෙන් යන්න කියමු යැයි පවසා ගොස් ඔහු ආරාමයෙන් පිටත්කර හැරියා.

ටික දිනක් එහි විසූ මේ තෙරවරුන් දෙදෙනා ජේතවනාරාමයට වැඩම කළා. බුදුන් වහන්සේ හමුවුණා. මේ පුද්ගලයා ගැන දැන්වූවා. ඔබ දෙදෙනා කනස්සල්ලට පත් නොවීම හොඳයි. මීට පෙරත් ඔබ දෙදෙනා භේද කරන්නට ඔය තැනැත්තා උත්සාහ කළා පවසමින් මේ කතාව වදාළා.

බරණැස් නුවරට නුදුරු වනාන්තරයේ එදත් බොහෝ සතුන් උන්නා. උන්ට නායකයෝ දෙන්නෙක්ද සිටියා. එකෙක් සිංහයෙක්. උගේ නම (සුදාඨ) අනෙකා (සුබාහු) නම් ව්‍යාඝ්‍රයෙක්. මේ දෙන්නා හොඳ මිතුරෝ. යහපත්ව ජීවත්වුණා. ඒ අතර වෙනක් කැලෑවක උන් කැණහිලෙක් අහම්බෙන් මේ වනාන්තරයට ආවා. එහේ මෙහේ ඇවිද්දා පාර වැරැදුණා. ව්‍යාඝ්‍රයාගේ ගුහාව ළඟට ඉබේ යැවුණා. ඌ ගුහාවට ඇතුළු වුණා. ව්‍යාඝ්‍රයා ළඟට ගියා. ගරුකළා. යටහත්ව සිදු වූ ඇබැද්දිය කිව්වා. ව්‍යාඝ්‍රයාට ඌ ගැන අනුකම්පා හිතුණා. ගුහාවේ නතර වෙන්න කිව්වා. සේවකයකු බවට පත් කරගත්තා. මරාගෙන කන සතුන්ගේ ඉතිරි කොටස් ඌට දුන්නා. සිංහයා හමුවෙන්න යන කොටත් කැණහිලා සමඟ ගියා. වැඩි දිනක් ගියේ නෑ සිංහයාගේද හොඳ හිත ඌ දිනාගත්තා.

කාලය ගෙවී ගියා. මේ වනාන්තරේ නායකයන් දෙදෙනාගේ එකම සේවකයා දැන් කැණහිලා. ඌට කෑමෙන් බීමෙන් කිසිම හිඟයක් වුණේ නෑ. ඒ වනවිට වනයේ වෙසෙන සෑම වර්ගයේ සතුන්ගෙන්ම මස් ආහාරයට ගෙන තිබුණා. නොකා තිබුණේ සිංහ සහ ව්‍යාඝ්‍ර මස් පමණයි. ඒ මස් කෑමේ ආශාවක්ද ඇතිවුණා. ඒ ගැන කල්පනා කළා. අදහසක් ආවා. ඒ මේ නායකයන් දෙන්නා කෙටවීමට. ඒ වැඩ නරියන්ට ජන්මයෙන් හුරුපුරුදු වැඩ.

කැණහිලා ව්‍යාඝ්‍රයා ළඟට ගියා. අමුතු විලසට බැලුවා. කල්පනා කරන බවක් පෙන්නුවා. උගේ වෙනස ව්‍යාඝ්‍රයාට දැනුණා. ඔබට අසනීපයක්ද? ඇසුවා. 

නෑ උතුමාණෙනි! එහෙත්....

ඇයි එහෙත් කියා නතර කළේ... කියන්න යමක් තියෙනවා නම් බිය නැතිව කියපන්....

උතුමාණෙනි! බලකරන නිසා කියන්නම්... හැබැයි කලබල කරගන්න එපා...

හරි කියනවා....

උතුමාණෙනි අද මම සිංහ උතුමාගේ ගුහාවට ගියා. පුදුමයිනේ එතුමා ඔබතුමාට නොසෑහෙන්න දොස් පැවැරුවා. හිතවත්කම් ඇත්තේ මූණට විතරයි කිව්වා. අනෙක ව්‍යාඝ්‍රයාට පුළුවන්ද සිංහයන්ගේ තත්ත්වයට එන්න වශයෙන් කියාගෙන කියාගෙන ගියා යනුවෙන් බොරු ගොත ගොතා කිව්වා.

ව්‍යාඝ්‍රයා එය අසා උන්නා. කිසිවක් කිව්වේ නෑ. එහෙත් උගේ ඉරියව් වෙනස් වුණා. එය කැණහිලා දුටුවා. සතුටට පත් වුණා. පසුදා කැණහිලා සිංහ ගුහාවට ගියා. සිංහයා හමුවුණා. කොහොමද මගේ මිතුරා හොඳින් ඉන්නවද සිංහයා ඇසුවා.

එතුමා ඉතාම සතුටින් ඉන්නවා. ඒ වුණත්... කියා ඌ නිහඬ වුණා.

ඇයි ඔබ කතාව නතර කළේ කියන්න ආ දේ කියනවා.

අනේ මන්දා මේවා කොහොම කියන්නද කියලා.

මේ කැණහිලෝ වටේ යන්නේ නැතිව කියන දෙය කියපන් තෙපර බාන්න එන්න එපා මාත් එක්ක. සිංහයා කිව්වා.
ව්‍යාඝ්‍ර උතුමාණන් ඔබතුමා හිතන තරම් හොඳ කෙනෙක් නොවේ. ඔබතුමාට හෙළා පෙළා කතා කරනවා. නිතර නිදා සිටින කම්මැලියෙක් කියනවා.

එය ඇසීමෙන් සිංහයා කම්පාවට පත්වුණා. හා කමක් නෑ එයා ගැන මම බලාගන්නම් කිව්වා. ඔබ යන්න කිව්වා. සිංහයා තකහනියක් ව්‍යාඝ්‍රයා හමුවට ගියා. ඒ වනවිට කැණහිලාත් ඒ ගුහාවේ ඉන්නා. ව්‍යාඝ්‍රයා සහ සිනහසුණා. ඌත් සුපුරුදු ලෙස යටහපත්ව පිළිගත්තා. සිනහසුණාට සිංහයාගේ මුහුණ වෙනස් වෙලා. ව්‍යාඝ්‍රයාට වැටැහුණා. ඔබතුමා ඇයි හදිස්සියේ ඇසුවා. වැදගත් වුවමනාවකට සිංහයා කිව්වා. කැණහිලාට ඇතට යන්න කිව්වා. දෙන්නා පොර කන්න තමයි හදන්නේ. කැණහිලා හිතුවා. ඇතට වෙලා බලා හිටියා. සිංහයා ව්‍යාඝ්‍රයාට කැණහිලා කී සියල්ල කිව්වා. ව්‍යාඝ්‍රයා පුදුම වුණා. මම එසේ කිව්වේ නෑ. ඌ මටත් ඔබතුමා දොස් කියන බව කිව්වා. නිවැරැද්දේ එසේ කීම ගැන මම කනගාටු වුණා.

එහෙම නම් මේ කැණහිලා අපට කියා ඇත්තේ බොරු. ඌට ඕනෑකර තිබෙන්නේ අප භේදභින්න කරන්න. සිංහයා කිව්වා. ඒක ඇත්ත. ඌට අප ළඟ තබා මේ වනයේවත් ඉන්න දෙන්න හොඳ නෑ. එළවා දමමු.... ව්‍යාඝ්‍රයා කිව්වා. සිංහයාද ඊට එකඟ වුණා. උන්දෙන්නා කැණහිලා පසුපස එළවූවා. ඌ පණ බයේ දිව්වා. සිංහයා සහ ව්‍යාඝ්‍රයා වනාන්තරේ සීමාව දක්වා ඌ ලුහුබැන්දා. කැණහිලා ආපසු නොබලාම දිව ගියා. බුදුන් වදාළා.

වණ්ණරෝහ ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක