2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

සුදුසු නැති අයගේ ඇසුර නිසා පිරිහෙයි

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

සැවැත්නුවර භික්ෂූන් වහන්සේලා නිතර උපාසක උපාසිකාවන්ට බුද්ධ ධර්මය දේශනා කරමින් වැඩ උන්නා. බොහෝ උවැසි උවැසියෝ එක් රොක්වෙමින් දහම් අසා සිත් පහන් කරගත්තා. බුදු දහම අවබෝධයක් නැති කෝකාලික භික්ෂූව ද මේ දහම් දෙසන භික්ෂූන් දැක තමාටත් එසේ කළහැකියැයි සිතුවා. උන්වහන්සේලා දහම් දෙසන තැනකට ගියා. සාමනේර හිමිවරු මේ වැඩිහිටි කෝකාලික භික්ෂුවට වියපත් භික්ෂුවකට කරන වත්පිළිවෙත් කළා.

කෝකාලික් හිමි ධර්ම දේශනාවක් කරන්න ඉල්ලා ගත්තා. ධර්මාසනයට නැග ඉඳගත්තා. සාමනේර හිමිවරු උපාසක උපාසිකාවෝ වැඳගෙන උන්නා.

කෝකාලික හිමි ගාථාවක මුල් පදය කිව්වා. ඊළඟ පද කියාගන්න බැරිව ගියා. බිය වුණා සිරැර වෙව්ලා ඩහදිය දැමුවා.

භික්ෂූන් සභා රැස්ව සිටියෝ කෝකාලික හිමි දෙස බලාඋන්නා.

කෝකාලික හිමි උන්හිටි ගමන් ධර්මාසනෙන් බිමට පැන දිව ගියා. රැස්වූවෝ උසුළු විසුළු කරන්න වූවා. ඉන්පසු වෙනත් හිමිනමක් ධර්මාසනය ගෙන ධර්ම දේශනාවක් කළා.

මේ සිද්ධිය දම් සභාවේදී හිමිවරු සාකච්ඡාවට ගත්තා. එය ශ්‍රවණය කළ බුදුන් වහන්සේ මහණෙනි දැන් මතු නොවේ ඔය කෝකාලික නොදන්නා දේ කරන්න ගිහින් පූරුවේදී ද උපහාසයට ලක්වුණා කියමින් මේ කථාව දේශනා කරනු ලැබුවා.

එදා හිමාල වනාන්තරයට නුදුරුව තවත් වනාන්තරයක් තිබුණා. එහි සරුසාර ගස්වැල්වලින් පිරී තිබුණා. මේ වනාන්තරය අලි සිංහ කොටි ව්‍යාඝ්‍ර ආදී බියකරු සතුන්ගේ සිට කුරු කුහුඹුවන් දක්වා සියලු සතුන්ගෙන් යුක්ත වුණා.

මේ වනාන්තරය මැද ගල් ගුහා රැසක් තිබුණා. ඒවායේ සමහරක් සිංහයන්ගේ වාසස්ථාන වුණා? උන්ට නායකයෙක් උන්නා. ඌ සිංහයන්ට පමණක් නොවේ වනාන්තරේ සියලු සතුන්ටම නායක වුණා. ඌ ධේනුවත් පැටවුනුත් සමඟ එහි එක ගුහාවක වාසය කළා.

මේ නායකයා සාධාරණ බව නිතර පෙන්නුවා. ඒ වුණාට බලයට කෑදරයි. ඒනිසා කපටිකම්ද කළා. ඌට ඕනෑ වූයේ මියයනකම් නායකයා වී ඉන්න. ඒ නිසා නොයෙක් උපා යෙදවූවා.

සිංහයා පළමු කොටම වනාන්තරේ සතුන් භේද භින්න කළා. කැලේ නිවටයන් සේ සලකන සතුන් වන නරින් ඇසුරට ගත්තා. උනට හොඳට සැලකුවා අනෙක් සතුන් අතර කෙරෙන කථා බහ නරින් මගින් දැනගත්තා.

මේ නරින්ද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. උන් වනාන්තරේ සිටි උතුම් සතුන් සමඟ හිත් අමනාපයෙන් උන්නේ. ඒ එම සත්තු මේ ජරා ගති ඇති නරින් පිළිකෙව් කරන නිසා. එබැවින් නරින් සිංහයා ලවා සතුන්ගෙන් පළිගන්න සිතුවා. නායකයාට උන් ගැන නොයෙක් බොරු ගොතා කිව්වා.

සිංහයා ද ඒවා විශ්වාස කළා. ඒ සතුන්ට කෙනහිලිකම් කළා. මේ නිසා උන්නායකයා සමඟ අමනාප වුණා. සමහර කලකිරුණු සතුන් වෙනත් වනාන්තරවල පදිංචියට ගියා. තවත් සතුන් වෙන්නේ කුමක්දැයි හිංසා පීඩා විඳගෙන බලා සිටියා.

කලක් යනවිට සිංහයාට නරින් නැතිව ඉන්න බැරිව ගියා. නරි රැළ කැඳවාගෙන ඇවිත් සිංහයන් ඉන්න ගුහා අතර තිබූ හිස් ගුහාවල පදිංචි කරවා ගත්තා. නරිත් ඊට හරිම සතුටු වුණා. ඒ සිංහයන් සමඟ එකට ඉන්න ලැබීම ගැන.

සිංහ ගුහා ළඟට නවතින්න ආපසු නරි රැළ තවත් උඩඟු වුණා. වනාන්තරේ උතුම් සතුන්ට තවතවක් උපහාස අපහාස කළා. ඒ විතරක් නොවේ සිංහයන්ට පවා සමච්චල් කළා. සිංහයෝත් ඒවා ඉවසා ගත්තා. ඒ නායක සිංහයා තමන්ගේ වරිගේ එක නිසා. ඌට ගරු කිරීමක් වශයෙන්.

නායක සිංහයාට මේ කිසිවක් තේරුණේ නෑ. ඌ නරින් සමඟ කෑවා. බීවා. විනෝද වුණා. ඉන් නරි තවත් ඉහළ ගියා. උන්ගෙන් සිංහයන්ට කරදර වැඩි වුණා. බැරිම තැන සිංහයෝ නායකයා හමුවුණා. නරින්ගෙන් සිදුවෙන අවමාන අවහිරකම් ගැන කිව්වා. ඔබ නිසා ඉවසනවා නැත්නම් ඔය නරි රැළ විනාශ කරනවා කියා දොස් ද නැගුවා.

ඕවා ගණන් ගන්න එපා. උන් මෝඩයි. අනෙක අපි සිංහයන් උන් නරින්. ඉතින් ඇයි කලබල වෙන්නේ. මම උන්ට අවවාද කරන්නම් සිංහයා කිව්වා. විහිළු කර උන් සනසවා හැරියා. සිංහ නායකයා නරින් කැඳවූවා. ඔබ හැම දෙනාම සිංහයන් සමඟ සෙල්ලමට යන්න එපා. උන්ට තරහා ආවොත් ඔබ පමණක් නොවේ මාත් ඉවරයි. ඒ නිසා සිංහයන් සමඟ යහළුවෙලා උන්ට යටත්ව හිටපල්ලා කිව්වා. නරින් එය පිළිගත්තා. ටික දිනක් යනකොට ඒ කීම අමතක වුණා. යළි සමච්චල් කළා. නිවටයන්ට තැන දුන්නාම ඔහොම තමයි කියමින් සිංහයන් ඉවසුවා.

මේ අතර වනාන්තරයට නියඟය ආවා. සතුන් පීඩාවට පත්වුණා. ආහාර පවා හිඟ වුණා. බොහෝ සතුන් පිපාසිතව මියගියා. ලොකු සතුන් දිය සොයා ඈත ගියා. නරිද සිංහයන් පස්සෙන් ගොස් උන් දිය බොන තැන්වලින් දිය බිව්වා. ටික දිනක් ගෙවුණා. වස්සාන කාලය ආවා. අහස වලාකුළුවලින් බර වුණා. සියලු සතුන්ටම එය ලොකු සතුටක් වුණා. උන් නාද කළා. තැන තැන නටන්න වුණා. සිංහයන්ට ද එය ප්‍රියජනක වුණා. උන් සිංහ නාද කළා. ඉන් මුළු වනාන්තරයම කැලඹුණා. සිංහයන් නටන්න පටන් ගත්තා. නායකයා ද ඒ අතරට පැන්නා. නටන්න වුණා. සිංහ ධේනුවෝ ද නැටුවා. සිංහ පැටවු ඒ දෙස බලා විනෝද වුණා.

සිංහයන් නටන විට නරින් මැද්දට පැන්නා. නැටුවා. සිංහයන් වගේ නාද කළා. ඒත් ආවේ අප්‍රිය වූ හූ හඬක්. නරින්ට එය තේරුණේ නෑ. උන් හිතුවා එයත් මිහිරි හඬක් කියා.

සිංහයෝ නැටුම නතර කළා. පැත්තකට වුණා. නායකයා වගට වගක් නෑ. දිගටම නරින් සමඟ නැටුවා. සිංහ නායකයාගේ පැටවෙක් එය දුටුවා. පැත්තක උන්න සිංහයන් ළඟට ගියා. ඇයි ඔබ නැටුම් නවතා පැත්තකට වුණේ ඇසුවා.
දරුව සිංහයෝ උතුම් ජාතියක්. නරි නිවටයි. උන් එක්ක සිංහයෝ නටන්නේ නෑ. ඒකයි පැත්තකට වුණේ.

ඇයි එතකොට අපේ පියා උන් සමඟ නටන්නේ.

ඔබේ පියා බල තණ්හාවෙන් මුලාවෙලා. උතුම් අය සහ නිවටයන් තෝරාගන්න බෑ. අපට ඒ තණ්හාව නෑ. ඒ නිසා ලජ්ජාව සහ බිය තියෙනවා. සිංහයෝ කිව්වා.

සිංහ පැටවා නිහඬ වුණා. මහා වැස්සක් ඇද වැටුණා සිංහයෝ ගුහාවලට ගියා. සිංහ නායකයා නරිත් සමඟ හරි හරියට නැටුවා. එදා ඒ සිංහයා කෝකාලික ස්ථිවිරයැයි බුදුන් වදාළා.

(දද්දර ජාතකයෙන්)