2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

පිළිවෙත් වෙනස් නොකළ සර්පයෙක්

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

පිටිසර ගමකට භික්ෂුවක් පිඬුසිඟා වැඩියා. ගැමියෝ බොහෝ අවුළුපත් උන්වහන්සේට පිදුවා. ඉන් කොටසක් සැරියුත් මහරහතන් වහන්සේට පුදන්න යැයිද ඉල්ලා සිටියා. ඒ අතර එක් ගැමියකුට මහ රහතන් වහන්සේ මුණගැසුණා. “ස්වාමීනි! ඔබවහන්සේට අපි රසවත් අවුළුපත් ලැබෙන්න සැලැස්සුවා” ඔහු කිව්වා.

මහ රහතන් වහන්සේ නිහඬ වුණා. එහෙත් උන්වහන්සේගේ කොටස ලැබේයැයි සිතුවා.

පිටිසර ගමට වැඩිය භික්ෂුව ආපසු ආවා.

ඇවැත්නි! මට කියා පූජා කළ අවුළුපත් ටික කෝ මට දෙන්න... භික්ෂුව විස්මයෙන් බලා සිටියා.

ඇයි... ඔබ ඒ අවුළුපත් ටිකත් වැළඳුවාද?

ස්වාමීනි! මිහිරක් නම් කවුරු අප්‍රිය කරත්ද? භික්ෂුව පැවැසුවා.

රහතන් වහන්සේ සංවේගයට පත්වුණා. කමක් නෑ. මම මෙතැන්සිට අවුළුපත් වළඳන්නේ නෑ... යැයි තීරණයකට බැස්සා. එසේම කළා.

සැරියුත් මහ රහතන් වහන්සේගේ තීරණය ගැන සංඝයා වහන්සේලා අතර කතාබහට පත්වුණා. එය දැනගත් බුදුන්වහන්සේ මහණෙනි, සාරිපුත්‍ර ස්ථවීරයෝ එක්වරක් හැරවූ දෙයක් ජීවිතය නැති වුණත් එය යළි නොකරති යැයි පවසා මෙම කථාව වදාළා.

එදවස බරණැස් නුවර අති දක්ෂ විස වෙද මහතෙක් උන්නා. එතුමාට මන්ත්‍ර බලයෙන් සර්පයන් දපණය කරන්න පිළිවන්. යම් සර්පයෙක් කෙනකුට දෂ්ට කළොත් ඒ සර්පයා මන්ත්‍ර බලයෙන් ගෙන්වා ඌ ලව්වා විස උරවා ලෙඩ සනීප කරනවා. එබැවින් මේ වෙද මහතා මුළු දඹදිව පුරාම පතළයි.

එක් ජනපදයක මිනිසකුට සර්පයෙක් දෂ්ට කළා. ඒ සර්පයා දරුණු විස සහිත එකෙක්. මේ මිනිසාට සිහිනැතිව ගියා. නෑදෑයෝ අසල්වැසියෝ විස වෙද මහතා සොයා ආවා. කාරණය කිව්වා.

මේ කාරුණික වෙද මහතා කඩිනමින් ඒ රෝගියා සොයා ගියා. නාඩි බැලුවා. ඇස් ඇර බැලුවා. විස හොඳටම වැඩිවෙලා. වෙද මහතා රෝගියා ළඟින් ඉඳගත්තා. මතුරන්න වුණා. 

ටික වෙලාවක් ගතවුණා. සර්පයා එන බව වෙද මහතාට දැනුණා. රෝගියා ළඟ සිටි අයට ඈතට යන්න කිව්වා. ආයෙත් මතුරන්න පටන් ගත්තා.

සර්පයා ආවා... ඌ සිටියේ කෝපයෙන්. වෙද මහතා වෙනත් මන්ත්‍රයක් ජප කළා. සර්පයා දපණ වැටුණා.

තොප මේ ලෙඩාගේ විස උරවන්න ඕනෑ. වෙද මහතා තදින් කිව්වා.

සර්පයා වෙද මහතා දෙස නපුරු ලෙස බැලුවා වගේ වගක් නැතිව උන්නා.

වෙද මහතාට තරහ ආවා. මේ රෝගියාගේ විස උරවපන් නැත්නම් දරුණු වද දෙනවා. වෙදමහතා සැරෙන් කිව්වා.

සර්පයාට වගේ වගක් නෑ.

මොකද කරන්නේ... කීව දෙය ඇහුණේ නැද්ද? වෙද මහතා කෝපයෙන් ඇසුවා.

බෑ... උරවන්නේ නෑ.

ඒ ඇයි?

මම එකවාරයක් ඇරපු දෙයක් ආපසු ගන්නේ නෑ.

ඒ කුමක් නිසාද?

ඒ තමයි මගේ පුරුද්ද.

ඒ පුරුද්දෙන් මට වැඩක් නෑ. මම මේ රෝගියා සුවපත් කළ යුතුයි. වහාම විස උරවපන් යැයි වෙදමහතා යළිත් සැරෙන් කිව්වා.

නෑ... මම විස උරවන්නේ නෑ... සර්පයාත් තදින් කිව්වා.

වෙද මහතාගේ කෝපය ඉහවහා ගියා. අසල සිටි අයට දර ගෙනත් ගොඩක් ගහන්න කිව්වා. ඔවුන් වහා එය කළා. ගිනි මොලවන්න කිව්වා. ඒ මිනිස්සු එයද කළා.
වෙද මහතා සර්පයා දෙසට හැරුණා. තොප මේ රෝගියාගේ විස ඉරෙව්වේ නැත්නම් ගිනි ගොඩට දමනවා කිව්වා.

ඔව්... මම ගිනි වදිනවා. එහෙත් ප්‍රතිපත්ති පාවාදෙන්නේ නෑ. සර්පයා දැඩි ලෙස කිව්වා.

තොපගේ ප්‍රතිපත්ති නිසා මේ මිනිසාට මියයන්න දෙන්නද කියන්නේ. ඒක කරන්න මට බෑ... වෙද මහතා මඳක් නිවුණු බවින් කියා සිටියා.

ඒක ඔබතුමාගේ වැඩක්. මට කොහෙත්ම බෑ මා හරින ලද විස උරවා ඒ විසට අගෞරව කරන්න. එබැවින් මම ගින්නේ වැදී මියයනවා. සර්පයා දැඩි අදිටනින් කිව්වා. ගිනිවදින්න සැරසුණා.
වෙදමහතා වහා ඌ නතර කළා. හරි තොප තොපගේ ප්‍රතිපත්තිය රැකීම ගැන මම සතුටු වෙනවා. එහෙත් තොප මට පොරොන්දුවක් විය යුතුයි.

ඒ කුමක්ද?

මින්පසු කුමන හේතුවකටවත් මිනිසුන්ට දෂ්ට කරන්නේ නෑ කියා.

ඔබතුමාට පොරොන්දු වෙනවා යළි කිසිදිනක කිසිවකුට මම දෂ්ට කරන්නේ නෑ කියා.

හොඳයි එසේ නම් තොප උන්න තැනට යව. වෙදමහතා කිව්වා. සර්පයා ගියා. වෙදමහතා දින ගණනක් තිස්සේ ජපකොට බොහෝ ඔසු පොවා රෝගියා සුවපත් කළා.
මහණෙනි! සාරිපුත්‍ර ස්ථවිරයෝ ජීවිතය පරිත්‍යාග කළත් පිළිවෙත් වෙනස් කරන්නේ නෑ යැයි බුදුන් වහන්සේ කථාව අවසන් කර වදාළා.

(විසවන්ත ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක