කොසොල් මහ රජතුමා හමුවට නිතර යන බමුණෙක් උන්නා. ඔහු වේදය පරතෙරට දත් සිල්වත් කෙනෙක්. මේ බමුණාට ඔහුගේ ශීලය නිසා රජතුමා බොහොම ගෞරව කළා. පුද සත්කාර කළා. බමුණාට රජතුමා තමාට දක්වන අසීමිත ගෞරව සත්කාර ගැන සැකයක් ඇතිවුණා. ඔහු ඒ ගැන කල්පනා කළා. රජතුමා මට මෙසේ සලකන්නේ මගේ උසස් ජාති කුල ගෝත්‍රය නිසාද, නැත්නම් මගේ ශීල සමෘද්ධිය නිසාද කියා ඔහු හිතන්න වුණා. ඒ ගැන සොයා බලන්න ඕනෑ යැයි ද තීරණය කළා.
මේ බමුණා පසුදින රජගෙදරට ගියා. රජගෙට ඇතුළුවෙන තැන කහවනු පෝරුවක් තිබුණා. එය රැකබලා ගන්නා අයෙක් ද හිටියා. බමුණා ඔහු අහක බලනවාත් එක්කම කහවනුවක් ගත්තා. පෝරුව රකින්නා එය දැක්කා. බමුණාට ඇති ගෞරවය නිසා කිසිවක් කිව්වේ නෑ.
දෙවැනි දවසෙත් බමුණා රජගෙදරට ගියා. පෝරුවෙන් කහවනු දෙකක් ගත්තා. පෝරු රකින්නා දැක්කා. කරබාගෙන උන්නා. තුන්වැනි දවසේ රජගෙදර ගිය බමුණා කහවනු අහුරක් ගත්තා. එවිට පෝරු රකින්නා කෝප වුණා.
“බමුණ, ඔහොම හිටු රජගෙදර භාණ්ඩාගාරයෙන් නේද තොප හොරකම් කරන්නේ. තොප හිතුවාද පෙර තොපගේ සොරකම් මම නොදැක්කා කියා. මම එවිට නිහඬ වුණේ තොප සීලවතෙක් කියා ගරු කරන නිසා” යැයි ඔහු කිව්වා. ඒත් එක්කම බමුණා රජගෙදරින් එළියට පැන දුවන්න වුණා. පෝරු රකින්නා “ඔය බමුණා අල්ලන්න. හොරෙක් හොරෙක්” කියා කෑගැසුවා. මඟ යමින් සිටි මිනිස්සු ඔහු අල්ලා ගත්තා. පහර දෙන්න වුණා. කහවනු පෝරුකරු බමුණාගේ දෑත් බැන්දා. රජතුමා වෙත ගෙන ගියා. සොරකම ගැන කිව්වා.
“ඇයි බමුණ! මම ඔබේ ශීල සමෘද්ධියට බෙහෙවින්ම ගෞරව කළා. පුද සත්කාර කළා. එසේ කරද්දී ඇයි මගේ භාණ්ඩාගාරයෙන් කහවනු සොරකම් කළේ?”
“දේවයන් වහන්ස, මම භාණ්ඩාගාරයෙන් කහවනු සොරාගත්තේ නෑ.”
“එසේ නම් මේ පෝරුකරු කියන්නේ බොරුද?”
“බොරු තමයි. මම කහවනු ගත්තේ කහවනු පෝරුවෙන්.”
“හොඳයි! ඇයි ඔබ එසේ ගත්තේ?”
“දේවයන් වහන්ස, මට ඕනෑකර තිබුණා ඔබවහන්සේ මෙතරම් මට ගරු පුද සත්කාර කරන්නේ මගේ උසස් ජාති කුල ගෝත්‍රයටද, නැත්නම් ශීල සමෘද්ධියටද කියා දැනගන්ට. දැන් කහවනු නිසා එය දැනගත්තා.”
“ඒ කෙසේද?”
“ඇයි ඔබවහන්සේම ප්‍රකාශ කළානේ ඔබේ ශීල සමෘද්ධියට මම මෙතරම් සැලැකුවේ කියා. එබැවින් දේවයන් වහන්ස, මට සමාව දෙන්න. මම තවදුරටත් ශීලයේම ඇලී ගැලී ජීවත් විය යුතුයි. ජේතවනාරාමයට ගොස් බුදුන් දැක සත්‍ය සොයාගත යුතුයි. බමුණා බැගෑපත්ව රජතුමාගෙන් ඉල්ලුවා.”
රජතුමා ඔහු නිදහස් කළා.
ඒ බමුණා බුදුන් දැක බණ අසා පැවිදි වුණා. පසුව විදර්ශනා වඩා රහත් ඵලය ලබාගත්තා.
මේ සිද්ධිය ගැන හිමිවරු දම්සභාවේ කතාබහ කරමින් සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ මහණෙනි! ඔය බමුණා මීට පෙර ද සිය ශීලය ගැන ඔය ලෙසම පරීක්ෂා කර ඇතැයි පවසා මෙම කතාව වදාළා.
බරණැස් බඹදත් රජතුමාට පුරෝහිත බමුණෝ කිහිප දෙනෙක් උන්නා. ඉන් එක් අයෙක් අන් අයට වඩා වෙනස්. වේදය ඉහළටම උගතෙක්. එසේම යහපත්. ප්‍රියමනාපයි. රජතුමා මේ බමුණාට ගරැ කළා. වෙසෙස් සත්කාර කළා. එහෙත් ඔහුට ඒ සත්කාර මදි වුණා. දනට පිනට තිබෙන බලවත් කැමැත්ත නිසා ලැබෙන ආදායම මදි වුණා. මේ බමුණා දිනක් රජතුමා ගැන කල්පනා කරන්න වුණා. රජතුමා මට අන් අයට වඩා සලකන්නේ මගේ නැණවත්කමටද, සිල්වත්කමටද? යැයි ප්‍රහේලිකාවක් ඇතිවුණා. එය පිරික්සා බලන්න හිතුණා.
ඔහු සුපුරුදු ලෙස රාජ සේවයට ගියා. ඒ වනවිට රාජසභාවේ කිසිවෙක් පැමිණ සිටියේ නෑ. බමුණා රජගෙය පුරා ඇවිද්දා. රජතුමාගේ මසුරන් දැමූ පෝරුවක් දැක්කා. එය බලාගන්නා ද හිටියා. ඔහු බමුණා දැක ගරුසරු දැක්වූවා. පැත්තකට වුණා. බමුණා කතා කළේ නෑ. වටපිට බලමින් ඇවිද්දා. පෝරුව රකින්නා ටිකක් මෑත් වුණා. වෙන රාජකාරියක යෙදුණා. බමුණා ඒ ඇසිල්ලේ පෝරුවෙන් මසුරමක් ගත්තා. සේවකයා එය දැක්කා. කිසිවක් කිව්වේ නෑ බමුණාට තිබෙන ගෞරවයට. බමුණා හිතුවේ ඔහු නොදැක්කා කියා. ඔහු මසුරම අරන් ගියා. දෙවැනි දවසේ බමුණා කලින්ම රජගෙදරට ගියා. බමුණා පෝරුව ළඟ කැරුකි කැරුකී උන්නා. සේවකයත් සිනාසී ඔහු පිළිගත්තා. ටික වෙලාවකින් සේවකයාගේ පමාවක් දැක මසුරන් දෙකක් ගත්තා. සේවකයා ඒකත් දැක්කා. නිහඬව උන්නා.
තුන්වැනි දවසේ බමුණා රජගෙදරට ආවා. මසුරන් පෝරුව ළඟට වෙලා උන්නා. සේවකයා අහක බලනවාත් සමඟම මසුරන් තුනක් ගත්තා. සේවකයාට තරහ ආවා. බමුණා අල්ලාගන්න හැදුවා. ඔහු පැන දිව්වා. දොරටු පාලකයන් බමුණාගේ ඉක්මන් ගමන සැක කළේ නෑ. බමුණා මහ මඟට පැන්නා. “සේවකයා ඔහු පස්සෙන් ආවා. බමුණා දුවන්න වුණා. ඔය බමුණා අල්ලපල්ලා රජගෙදරින් මසුරන් සොරාගෙන යන්නේ.” සේවකයා කෑගැසුවා.
මිනිස්සු වටවෙලා බමුණා අල්ලා ගත්තා. අත් බැඳ රජගෙදර දෙසට ගෙන ආවා. ඒ වනවිට පාර අයිනේ අහිගුණ්ඨිකයෙක් සර්පයකු නටවමින් උන්නා. ඔහු සර්පයාගේ නගුට අල්ලනවා. බෙල්ල අල්ලනවා. කරේ ඔතාගන්නවා. බමුණා එය දුටුවා.
“දරුව! ඔය සර්පයා සමඟ ඔය සෙල්ලම හොඳ නෑ. දෂ්ඨ කළොත් තොප මිය යනවා” බමුණා කිව්වා.
“බමුණ! සර්පයා මට හිතවත්. සිල්වත්. තොප වගේ නොවේ. තොප දුසිල් නිසා මසුරන් සොරකම් කළා. දැන් දෑත් බැඳගෙන යනවා.” යැයි අහිගුණ්ඨිකයා බමුණාට උපහාස කළා. ඔහු කියන්නේ සත්‍යයක්. සර්පයෝ සිල්වත් වුණාම හිංසා පීඩා කරන්නේ නෑ. සීලය තරම් උතුම් වස්තුවක් ලෝකයේ තවත් නෑ. බමුණා සිතුවා. සේවකයාත් සමඟ රජගෙදරට ගියා. සේවකයා රජතුමාට විස්තරය කිව්වා.
“බමුණ, ඇයි ඔබ මසුරන් සොරකම් කළේ?”
“දේවයන් වහන්ස, මම මසුරන් සොර සිතින් ගත්තේ නෑ. ඒ මසුරන් මගේ සැපතට ගත්තෙත් නෑ. දුගියන්ගේ කුසගිනි නිවීමට වැය කළා. එහෙත් දේවයන් වහන්ස, මෙලොව දන් දෙනවට වඩා සීලය උතුම් යැයි මට අද අවබෝධ වුණා. ඒ අහිගුණ්ඨිකයකු නිසා” යැයි කියා අහිගුණ්ඨිකයා කීව දේ කිව්වා.
රජතුමා ඔහු නිදහස් කළා. රාජසභාවේ පෙර තිබූ තනතුරට පත් කළා.
“දේවයන් වහන්ස! සමාවන්න. මට තනතුරු එපා. දැන් මගේ සිත වෙනස් වෙලා. ගිහිගෙය අප්‍රියයි. මම වනගත වී පැවිදි වෙනවා. මට ඊට අවසර දෙන්න.”
රජතුමා ඔහුගේ ඉල්ලීමට ඉඩ දුන්නා.
පුරෝහිත බමුණා තපස් රැකීමට හිමාල වනයට ගියා. ඒ බමුණා තමයි මේ බමුණා. බුදුන් වදාළා.
සීල විමංස ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක