සැවැත් නුවර ගල් කැට ඉලක්කයට ගැසීමට දක්ෂ තරුණයෙක් උන්නා. ඔහු දවසක් දෙව්රම් වෙහෙරට ගියා. බුදු රජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසුවා. පැහැදුණා. පැවිදි වුණා. උපසම්පදාව ද ලැබුවා. එහෙත් සඟ විනය සහ ප්‍රතිපත්ති ගැන එතරම් සැලකිලිමත් වුණේ නෑ.
මේ භික්ෂුව දිනක් කුඩා සාමනේර හිමිවරුන් සමඟ දිය නෑමට අචිරවතී නදියට ගියා. එවිට සුදු හංසයෝ දෙදෙනෙක් අහසේ පියාඹා ආවා. ඒ දුටු භික්ෂුව කුඩා හිමිවරුන් අමතා “අර පියාඹන හංසයෙක් මගේ පාමුලට ගෙන්න ගන්නද?” ඇසුවා.
හරි පුදුමයි! එය කරන්නේ කෙසේද? හිමිවරු ඇසුවා.
ඒ ක්‍රමය මම දන්නවා.
එසේ නම් කරන්න.
එවිට භික්ෂුව ගල් කැටයක් අහුලා ඉගිලී යන හංසයකු දෙසට ගැසුවා. ඒ ගල් කැටය රූං යන ශබ්දය නගා උගේ පෙඳ සමීපයට ගියා. ඉන් හංසයා බිය වුණා. කැරකී කැරකී ගලේ හඬ අසන්න වුණා. ඒ කැරකීම නිසා ඌ පහළට ආවා. ඒ සමඟ භික්ෂුව තවත් ගලක් හංසයාගේ ඇසකට ගැසුවා. ඉන් ඌ වේදනාවට පත් වී බිමට වැටුණා. වැටුණේ භික්ෂුවගේ පාමුලට. කුඩා හිමිවරු බිය වුණා. හංසයා විඳින වේදනාව දැක සංවේගයට පත් වුණා. වහා බුදුන් වෙත දුව ගියා. භික්ෂුව කළ ක්‍රියාව කිව්වා.
බුදුරාජාණන් වහන්සේ ඒ භික්ෂුව කැඳවූවා. ඔබ හංසයා දුකට පත් කළේ දැයි විමසුවා.
භික්ෂුව නිහඬව උන්නා.
ඔබ ගල් කැට විදීමට දක්ෂ බව ඇත්ත. එහෙත් දැන් ඔබට එය දැක්වීමට බෑ. ඒ ඔබ භික්ෂුවක් නිසා යැයි පවසා දොස් නැගුවා. ඉන්පසු හිමිවරුනට “මහණෙනි, මේ හිමි මින් පෙරද ඉලක්කයට ගල් කැට ගැසීමට දක්ෂයෙක් වී උන්නා. ඉන් රජවරුන්ගෙන් තාන්න මාන්න ලැබ ගත්තා” යැයි බුදුහු වදාළා.
ස්වාමීනි! අපට දැනගන්න ඒ කතාව වදාළහොත් මැනවි යැයි ඒ කුඩා හිමිවරු ඉල්ලා සිටියා.
බුදු රජාණන්වහන්සේ ඒ භික්ෂුවගේ පෙර කතාව මෙසේ වදාළා.
බරණැස බඹදත් රජතුමාට පුරෝහිතයෙක් උන්නා. නැණවතෙක් වුණත් හරි මුඛරියි. කතා කරන්න පටන් ගත්තම නවත්වන්නේ නෑ. කියාගෙන කියාගෙන යනවා. අන් අයට කතා කරන්න ඉඩක් දෙන්නේ නෑ. ඔහුටම කතා කරන්න ඉඩ දිය යුතුයි. එය රජතුමාට ද මහා කරදරයක්. ඔහුගේ මේ පුරුද්ද නවතා දැමීමට හපනෙක් ගැන රජතුමා හිත හිතා උන්නා. එවැන්නෙක් සොයාගන්න මහන්සි ගත්තා.
එකල බරණැස කොර මිනිසෙක් උන්නා. ඔහු ගල් කැට විසි කිරීමේ දක්ෂයෙක්. ඒ ගල් කැට ගස්වලට ගසා රූප මැවීමට ද ඔහුට පිළිවන්. එබැවින් ළමයි මේ කොර මිනිසාට හිතවත් වුණා. ඔවුහු ඔහු රථකයක ඉඳුවාගෙන නුග රුකක් වෙත ගෙන ගියා. සිංහ රූප, පක්ෂි රූප ආදී රූප පෙන්වන්න කිව්වා. කොර මිනිසාත් කියන කියන රූප හැදුවා. ළමයි ඔහුට සුළු මුදලක් දුන්නා.
බඹදත් රජතුමා දිනක් උයන් සිරි නරඹන්න යන්න ආවා. එතුමා යායුත්තේ මේ ළමයි සිටින තැනින්. එබැවින් ආරක්ෂකයෝ ළමයින්ට ගසා එලවා දැමුවා. ඔවුන් දිව ගියා. කොර මිනිසා නුග ගහ මුල නිදාගත්තා. බඹදත් රජතුමා එතැනට ආවා. කොර මිනිසා කළ රූ සටහන් දුටුවා. ඒවා කළේ කවුරුදැයි ඇසුවා.
දේවයන් වහන්ස කොර මිනිසකු යැයි රාජ පුරුෂයන් කීවා.
එය කෙසේද කර ඇත්තේ?
දේවයන් වහන්ස ගල් කැට නිසි ලෙස ගැසීමෙන්.
බඹදත් රජතුමා කල්පනා කරන්න වුණා. හරියට ගල් කැට ගැසීමට හපනෙක් නම් ඔහුට කියා පුරෝහිතගේ නන් දෙඩවිල්ල නැවැත්විය හැකි යැයි සිතුණා.
රාජ පුරුෂයෝ වටපිට බැලුවා. කොර මිනිසා බියේ බිම දිගා වී සිටිනවා දුටුවා. දේවයන් වහන්ස මේ ඉන්නේ යැයි ඔවුන් කිව්වා.
බඹදත් රජතුමා ඔහු ළඟට ගෙන්වා ගත්තා. රාජ පුරුෂයන්ට ඈතට යන්න කිව්වා. තොපට ලොකු වැඩක් තියෙනවා කරන්න පිළිවන්ද?
ඒ කුමක්ද දේවයන් වහන්ස?
මගේ පුරෝහිත බමුණා කතා කරන්න පටන් ගත්තම නවත්වන්නේ නෑ. හරිම කන් කරච්චලයක්. අන්න ඒ තොර තෝන්චියක් නැති කතාව නවත්වන්න පිළිවන්ද?
දේවයන් වහන්ස එය ඉතා පහසු දෙයක්. මට එළු බෙටි බඳුනක් පුරවා ලැබේ නම් කතාව නවත්තන්නම්.
බඹදත් රජතුමා කොර මිනිසා මාලිගාවට කැඳවාගෙන ගියා. රාජ සබාවේ පැත්තකින් තිරයක් ඇද්දා. එහි තැනක් සිදුරු කළා. එතැන කොර මිනිසා ඉන්දවූවා. එය කිසිවකුටවත් නොපෙනෙන ලෙසට. තිරයේ සිදුරට මුහුණ හැරෙන සේ පුරෝහිතගේ අසුන තැබුවා.
රාජ සබාව පටන්ගත්තා. පුරෝහිත පුරුදු කතාව පටන්ගත්තා. ඔහු කට හරින හරින ගාණේ එළු බෙටි එක එක කොර මිනිසා දමා ගැසුවා. ඒවා එකක්වත් අහක ගියේ නෑ. කෙළින්ම බමුණාගේ කටටම ගියා. බමුණා කතාව කරගෙන ගියා. අවසන් වනවිට එළු බෙටි බඳුනේ තුබූ ඔක්කොම පුරෝහිතගේ බඩේ. ඔහුට ඉන්න බැරිව ගියා. ඒ එළු බෙටි දිරවාගන්න බැරිව. බමුණා දඟලන්න වුණා.
ඔබ වහා ගෙදර යන්න. පුවඟු කොළ යුෂ බොන්න. ඉන් වමනය යයි. පසුව ඔබ සුවපත් වෙයි. බඹදත් රජතුමා කිව්වා.
බමුණා එසේ කළා. නිරෝගී වුණා. එතැන් පටන් ඔහු ආවට ගියාට කතා කළේ නෑ. ඉන් රජතුමා සතුටට පත් වුණා. කොර මිනිසාට තොප මට කර්ණ සැපත ළඟා කළා කියා වසරකට ලක්ෂයක ආදායම් ලැබෙන ගම් සතරක් තෑගි කළා.
ඒ කොර මිනිසා තමයි මේ භික්ෂුව යැයි බුදුරජාණන් වහන්සේ වදාළා.
(සලිත්තක ජාතකය ඇසුරින්)
බී.පී.කේ. තිලක