සැවැත් නුවර ජේතවනාරාම විහාරය අසල හොඳ කීකරු ඇතෙක් බැඳ උන්නා. ඒ අසල උන් වඳුරෙක් සවස් කල ඇතා ළඟට ආවා. ඇතා ඌට කරුණාවෙන් සිටියා. කලක් යන කොට වඳුරා ඇතාට බිය වුණේ නෑ. උගේ පිට උඩට නැග්ගා. පිට උඩ ඉඳන් සෙල්ලම් කරන්න වුණා. ඉන් ඇතාට රිදුණා. වඳුරා මෝඩයෙක් කියා ඇතා වේදනාව ඉවසගෙන උන්නා. මේ වඳුරා කරන ක්‍රීඩා බලා අවට මිනිස්සුත් සතුටු වුණා. වඳුරා ඉන් තවත් උද්දාමයට පත් වුණා.
මේ අතර ඇත්ගොව්වා ඒ කීකරු ඇතා වෙනත් රාජකාරියකට ගෙනගියා. ආපසු එන්න පමා වුණු නිසා පුරුදු තැන නෙවේ වෙනත් ස්ථානයක බැන්දා. වෙනදා ඒ ඇතා බැන්ද තැන වෙනත් ඇතෙක් ඇත් ගොව්වෙක් ගෙනත් බැන්දා. මේ වෙනස වඳුරා දැනගෙන හිටියේ නෑ. සුපුරුදු වෙලාවට ආවා. ඒ ඇතාගේ පිටට නැග්ගා. වෙනදා වගේ පිට උඩට වී සෙල්ලම කරන්න වුණා. ඒ ඇතාට රිදුණා. කෝප වුණා. හොඬෙන් වඳුරා අල්ලගත්තා. බිම දමා දළෙන් ඇන්නා. පයින් පාගා මරා දැමුවා.
මේ වඳුරාට වුණු සිද්ධිය ගැන දම් සබාවේ කතාබහට ගත්තා. බුදුරජාණන් වහන්සේටත් එම කතාව ඇසී “මහණ ඔය වඳුරා දැන් මතු නොවේ පෙරත් ඔය ලෙස නොහොබිනා සෙල්ලමට ගොස් විනාශයට පත් වුණා” යැයි පවසා මෙම කතාව වදාළා.
එකල බරණැසට නුදුරින් වනාන්තරයක් ද තිබුණා. එහි තුරුලතා සරුවට වැවී අලංකාර වුණා. ඒවා පලබරද වුණා. ඒ නිසා නානාවිධ කුරුල්ලන් එහි විසුවා. මේ වනයේ සිසිල් දිය පිරි විලක් ද තිබුණා. වන සතුන් ඉන් පිපාසය සංසිඳුවා ගත්තා. මේ විල අවට කුඩා තණ බිම්ද තැනින් තැන පිහිටා තිබුණා. ඒ නිසා මේ වනන්තරේ බොහෝ මීගවයෝ සිටියා. උන් රංචු පිටින් සිටියේ. එකෙක් දෙන්නෙක් රංචුවෙන් පිට පැන තනි වුණා.
මේ ගව රැළෙන් පිට පැන්න අහිංසක ගවයෙක් උන්නා. ඌ කිසිවකුට කරදරයක් නොකර පාඩුවේ තණ කෑවා. විලෙන් දිය බිව්වා. අඹ ගසක් යට නිදාගත්තා. ඒ ගස උඩ වඳුරෙක් උන්නා. ඌ මීගවයා වගේ නිවුණු සතෙක් නොවේ. දැඟලිලිකාරයා. අනුවණයෙක්. මේ මී ගවයාගේ සංවරකම සහ නිහඬකම වඳුරා හිතුවේ බියගුලුකමක් හැටියට. ඒ නිසා මී ගවයාට උසුළු විසුළු කරන්න පටන්ගත්තා. ඒ මදිවට අඹ ගෙඩි කා ඇටවලින් මී ගවයාට දමා ගැසුවා. පිටට පැන අං දෙක අල්ලා සොලවන්න වුණා. සමහර දාට වසුරු පවා උගේ ඇඟට දැම්මා. මේ කිසිවකින් මී ගවයා කලබල වුණේ නෑ. සියල්ල ඉවසුවා.
අඹ ගස ඉදිරියේ විසල් නුග රුකක් තිබුණා. එහි රුක් දෙවියෙක් උන්නා. වඳුරා මීගවයාට කරන හිරිහැර කරදර දෙවියා දුටුවා. ඌ ගැන දුක හිතුණා. තරහක් ද ආවා. ඒ ඕනෑවට වඩා ගවයාගේ ඉවසීම ගැන. රුක් දෙවියා දිනක් මී ගවයා ඉදිරියේ පෙනී සිටියා. “එම්බා මී ගවය! තට අර නැහැදිච්චි වඳුරාගෙන් බොහෝ හිරිහැර සිදු වෙනවා නේද? මම එය කොතෙක් දැන තියෙනවා. ඇයි ඒවා ඔයතරම් ඉවසන්නේ? ඇයි ඌට දඬුවමක් දෙන්න හදන්නේ නැත්තේ? උඹ ඌට බයද?”
“බයට නෙවෙයි රුක් දෙවියනි! ඒ මෝඩයාට මම අනුකම්පා කරනවා.”
“ඔහොම අනුකම්පා කිරීමක් තියෙනවද? ඒක වැරැදියි. ඔබට සවිමත් ඇඟක් තියෙනවා. හොඳට වැඩුණු අං දෙකක් තියෙනවා. ඒ නිසා සුළු දඬුවමක් දීපන්. නැත්නම් වඳුරා හැමදාම ඔබ සෙල්ලමකට ගන්නවා.”
“නෑ රුක් දෙවියනි! මේ ඇඟේ සවිය වැඩුණු අං දෙකේ බලය පෙන්විය යුත්තේ පලක් ඇති දෙයකට. බලවතකු මෙල්ල කරන්න. නැතිව දුබලයකුට බලය පෙන්වන්න නොවේ. අනෙක මම අවිහිංසාවාදියෙක්.”
“අනේ මී ගොනෝ ඔබ මෝඩයෙක්. ගහන්න ගහන්න ඉවසන්නේ නිවටයෝ. බලවන්තයෝ නොවේ.”
“රුක් දෙවියනි! ඔබට වැරදී ඇත. කොතරම් බලවතකු වුණත් නැණවතා තමාට එරෙහි වන අය සමඟ දබරයට යන්නේ නෑ. ඔවුන් මඟහැර යනවා. බේරෙන්න උත්සාහ ගන්නවා. බැරිම තැන බලය පෙන්වනවා. මම එහෙම කෙනෙක්. ඔබ සෝදිසියෙන් ඉන්න. වැඩිකල් නොගොස් ඔය වඳුරා හැදෙයි. නැත්නම් මැරැම් කයි. ඒ මගෙන් නෙවෙයි.”
“ඒ කෙසේද?”
“ඇයි රැක් දෙවියනි! ඌට මට කරදර කරන එක පුරුද්දක් වෙලා. දැන් ඌට ඒක නතර කරන්න බෑ. මම වගේ වෙනත් මී ගවයකු දුටුවොත් ඌත් එක්ක සෙල්ලමට යනවා. එදාට පාඩමක් ඉගෙනගනියි.”
“අනේ මන්දා” රුක් දෙවියා කිව්වා. යන්න ගියා. රුක් දෙවියා තණ කෑවා. අඹ ගහ යටට ආවා. රුක් දෙවියා සමඟ කතාබහ මතක් වුණා. අද මම අඹ ගහ යටට යන්නේ නෑ කියලා හිතුණා. ආපසු හැරුණා. වෙනත් ගසක් යටට ගියා. එහි නිසා ගත්තා. ඌ ඉන්පස්සේ අඹ ගහ යටට ගියේ නෑ.
කාලයක් ගතවුණා. මී ගවයා නැතුව වඳුරාට තනිකම දැනුණා. කරන්න දෙයක් නැතිව ගියා. පාඩුවේ උන්නා.
මේ අතර රැළෙන් මඟහැරුණු මී ගවයෙක් ඒ අඩවියට ආවා. නවතින්න තැනක් සෙව්වා. අඹ ගහ දුටුවා. ඒ යටට ගියා. නිදාගත්තා. වඳුරා ඌ දැක්කා. උසුළු විසුළු කළා. මී ගවයා ඒවා ගණන් ගත්තේ නෑ. වඳුරාට පරණ පුරුදු මතක් වුණා. ගහෙන් බැස්සා. මී ගවයාගේ පිටට නැග්ගා. අං දෙක අල්ලා සොලවන්න වුණා. මී ගවයාට තරහා ආවා. ඔළුව වේගයෙන් වැනුවා. වඳුරා බිම වැටුණා. එවිට පැන අං දෙකෙන් ඇන්නා. ඒ සවිමත් අං වඳුරාගේ සිරුර පසාරු කරගෙන ගියා. ඌ මරලතෝනි දුන්නා.
එය රුක් දෙවියාට ඇසුණා. ඒ දෙස බැලුවා. වඳුරා අවසන් ගමන් ගිහින්. රුක් දෙවියා අර අහිංසක මී ගවයා සොයාගෙන ගියා. අනේ මී ගවයෝ ඔබ හරි. මම වැරදියි කිව්වා.
“ඇයි රුක් දෙවියනි!”
“අර වඳුරා මැරුම් කෑවා.”
“කාගෙන්ද?”
“වෙනත් මී ගවයකු උසුළු විසුළු කරන්න ගිහින් අං දෙකෙන් ඇන්නා. එතැනමයි.”
“අයියෝ මෝඩ වඳුරා. ඌට උගේ තරම තේරුම් ගන්න බැරි වුණා.” මීගවයා කිව්වා.
“අන්න ඒ දඩබ්බර වඳුරා තමයි ඔය වඳුරා. ඌ මෙවරත් දඟ කරන්න ගිහින් විනාශ වුණා”යැයි බුදුහු වදාළා.
- මහිස ජාතකය ඇසුරින්
බී. පී. කේ. තිලක