දෙව්රම් වෙහෙරේ වැඩ සිටි එක් භික්ෂුවක් දේවදත්ත හිමියන්ගේ භික්ෂුවක් සමඟ මිතුරු වුණා. මේ දෙනම පසුකල පන්සලක එකට වසන්න ගියා. මේ මිතුරුකම බිඳින්න අනෙක් භික්ෂූන් නිතර උත්සාහ ගත්තා. එක් දිනක් වැඩිහිටි භික්ෂුවක් දෙව්රම් වෙහෙරේ සිටි භික්ෂුව බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන ගියා. ඒ ඇසුර ගැන කිව්වා.
“ඔබ දේවදත්ත භික්ෂුව සමඟ ඇසුරට පත් වෙලාද?” බුහුදු විචාළා.
“එසේය ස්වාමීනි!”
“ඒ භික්ෂුව මිථ්‍යාදෘෂ්ටි අදහස් දරන්නෙක් නේද? ඔබ සම්‍යක් දෘෂ්ටි නොවේද?”
“ස්වාමීනි! ඒ නම මිථ්‍යාදෘෂ්ටි වුවත් යහපත් මට අසීමිතව හිතවත්.”
“මහණ! ඒ හිතවත්කම් පැවිදි දිවියට ගැලපෙන්නේ නෑ.” බුදුහු වදාළා.
භික්ෂුව නිහඬව හිටියා.
එවිට බුදුහු අනෙක් භික්ෂූන් අමතා “මහණෙනි! මේ භික්ෂුව මින් පෙරත් වැඩිහිටියන්ට විපක්ෂව ගිහින් විනාශ වුණා.”
“ස්වාමීනි! ඒ කෙසේද? අපට එම විස්තර පවසනු මැනවි.” අනෙක් භික්ෂුහු ඉල්ලා සිටියා.
එවිට බුදුහු මෙම කතාව වදාළා.
එදා බරණැස් නුවරට අයත් ගන වනාන්තරයක් තිබුණා. එහි බොහෝ සත්තු හිටියා. උන්ට රජෙක් ද සිටියා. ඌ හැඩිදැඩි සිංහයෙක්. ඌට පැටව් දෙන්නෙක් උන්නා. ඉන් වැඩිමහල් සතා පිරිමි සතෙක්. ඌ මනෝජ් නම් වුණා. දෙවැන්නා ගැහැනු සතෙක්.
පිරිමි සතා බලා ඉන්දැද්දි ලොකු මහත් වුණා. පියා වගේම සවිමත් ද වුණා. එහෙත් හිතුවක්කාරයෙක්. සිංහ දුව ළඳ බොළඳයි. අහිංසකයි. මේ සිංහ පවුලට යහපත්ව කාලය ගෙවී ගියා. සිංහ යුවළ මහලු වියට පත්වුණා.
මේ සිංහ පවුලේ බර මනෝජ් පිට පැවරුණා. ඌ එය සතුටින් බාරගත්තා. මව පියා නංගි හොඳින් බලාගත්තා. මේ අයට කෑම සොයා වනය පුරා ගියා. කෑම ගෙනත් දුන්නා. වැඩිකල් ගියේ නෑ. සිංහ දෙනක් ද ගෙන ආවා. මේ නිසා සිංහ පවුල පස්දෙනෙක් වුණා. එහෙත් මනෝජ් පසුබට වුණේ නෑ. ඒ සියල්ලම රුකබලා ගත්තා.
මේ සිංහයා එක් දිනක් වනාන්තරේ ගොදුරු සොයා යමින් සිටියා. අතරමැදි නරියෙක් හමුවුණා. ඌ ගිරි නමින් හැඳින්වුණා. නරියාට සිංහයා දැක මඟ හරින්න වෙලාවක් නැති වුණා. ඌ බැගෑපත්ව බිම දිගා වුණා.
සිංහයා නරියා ළඟට ගියා. තොප මා හමුවන්නදැයි ඇසුවා.
“එසේය උතුමාණෙනි!”
“ඒ කුමටද?”
“නුඹ වහන්සේට සේවය කරන්න”
“එසේනම් මා සමඟ එවයැයි කිව්වා. නරියා ද මනෝජ් පසුපස ගියා. මේ දෙන්නා සිංහ ගුහාවට ඇතුළු වුණා. නරියා දුටු මහලු සිංහයාට සැක පහළ වුණා. මේ නීචයා කුමට එක්කරගෙන ආවේදැයි පුතාගෙන් ඇසුවා. වහාම එළවා දමන්න කිව්වා. සිංහ පුතා නිහඬ වුණා. නරියා එළවා දැමුවේ නෑ. පුතා තොප කවදා හෝ මේ නීචයා නිසා අතුරු අන්තරාවක් කරගන්නවා. මහලු සිංහයා කිව්වා. ඉන්පසු කිසිවක් කිව්වේ නෑ. ඒ අවවාදය මනෝජ් නොපිළිගත්තා. නරියාට ඉඳුම් හිටුම් දුන්නා. ගොදුරු සොයා යනවිට තනියට එක්කරගෙන ගියා.
ටික දිනක් ගෙවී ගියා. නොයෙක් මස් වර්ග කෑම නිසා නරියාගේ ඇඟපත ආරා ආවා. ඒ වනවිට ඌ නොකා උන්නේ අසුන්ගේ මස් පමණයි. ඒ මස් කෑමේ රැචියක් ඌට ඇතිවුණා. දිනක් ගොදුරු සොයා යනවිට නරියා ඒ බව සිංහයාට කිව්වා. ඉතින් මේ වනාන්තරේ අශ්වයෝ නෑනේ. සිංහයා කිව්වා.
“ඇයි උතුමාණෙනි! ගඟ ළඟට අශ්වයෝ එනවා.”
“ඒ කොහෙන්ද?”
බඹදත් රජතුමාගේ අශ්වයන් දිය නාවන්න ගෙන එනවා. අපි ඉන් එකකු අල්ලාගනිමු. නරියා කිව්වා. සිංහයා ඊට මනාප වුණා. ගඟ දෙසට හැරුණා. ඒ වනවිටත් අසුන් ගෙනත් නාවනවා. සිංහයා නාද කළා. අසුන් නාවමින් උන් සේවකයෝ බිය වී පැන දිව්වා. සිංහ රජා අශ්වයකු අල්ලගෙන නරියා සමඟ කෑවා. ඉතිරි ඒවා ගුහාවට ගෙන ගියා. මහලු සිංහයා පුදුම වුණා. මේ මස් කොහෙන්ද? ඇසුවා. සිංහ පුතා විස්තරය කිව්වා.
මහලු සිංහයාට තරහ ගියා. තොප මේ කෙළේ භයානක දෙයක්. මින් රජතුමා කෝප වෙනවා. පුතේ උඹට විනාශය ළඟයි. සිංහ පුතා එයත් ගණක් ගත්තේ නෑ. පසුදා සුපුරුදු ලෙස ගොදුරු සොයා ගියා. නරියා අදත් යමුද අශ්වයකු අල්ලන්න ඇසුවා. සිංහයා ඊට මනාප වුණා. ගඟ ළඟට ගියා. සේවකයෝ ගඟේ අසුන් නාවමින් උන්නා. සිංහයා පෙර පරිදි නාද කළා. නරියා සැඟවී බලා සිටියා. සැණෙකින් හී වරුසාවක් ආවා.
ඒ සියල්ලම එල්ල වූයේ සිංහයාට. ඉන් දරුණු තුවාල ඌට ඇති වුණා. ඒවා ඇතිව වනය තුළට ඇදුණා. අතරමගදී මියගියා. ගිරි නරියා සිංහයා ළඟට ආවා. වටේ කැරකී බැලුවා. සිංහයා මැරී ඇති බව වැටහුණා. මැරුණු අයගෙන් ඇති පලය කුමක්දැයි කිව්වා. වනාන්තරයේ වෙන පැත්තකට ගියා.
වෙනදා එන වෙලාවට මනෝජ් නාව නිසා ගුහාවේ සිංහයන් කලබල වුණා. මනෝජ් ගැන සොයන්න වුණා. වනයේ අනෙක් සත්තුත් උදව් කළා. එසේ සොයාගෙන එනවිට සිංහයාගේ මළකුණ හමුවුණා. සියල්ලෝම අඬා වැළපුණා.
අසත්පුරුෂයන් සමඟ ඇසුරු නොකරනු යැයි දුන් අවවාද නොපිළිගත් නිසා මගේ පුතාට මේ විනාශය වුණා. සිංහ පියා කිව්වා. වැදූ දරුවෝ නොකීකරුවෝ නම් මෑණියන්ගෙන් උන් කැරේ ඇල්මක් නැත. අසත්පුරුෂයාගේ බස් අසා පුතාට මේ විනාශය වුණේ සිංහ මව කිව්වා. පාපිෂ්ටයාගේ බස් අසා මගේ සහෝදරයාට මේ විපත සිදුවුණා. සිංහ නැගණියෝ කියමින් ඇඬුවා. උත්තමයන් උත්තමයන් සමඟ මිස නීචයන් සමඟ එක් වුණොත් මෙවැනි විපත් සිදුවීම වළක්වන්න බෑ. සිංහ දෙන පවසා අඬා වැළපුණා. යැයි බුදුහු වදාළා.
මනෝජ ජාතකය ඇසුරින්
බී.පී.කේ. තිලක